slc
logo
Home   |    News
ඔක්තෝබර් 27, 2025
කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව පස්වැනි තැනට

sinhala editor

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග නිමාවෙද්දී ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පත්වීමට සමත් විය. හිටපු ලෝක ශූර කණ්ඩායමක් වන නවසීලන්තය 6 වැනි ස්ථානයට පත් කරමින් ශ්‍රී ලංකා පිල ඉදිරියට පැමිණි අතර, බංග්ලාදේශය හා පාකිස්තානය ද ශ්‍රී ලංකාවට පහළින් සිටිති.

2022දී නවසීලන්තයේ පැවැති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට පවා නොහැකි වූ ශ්‍රී ලංකා කාන්තා පිල මෙවර 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තරගාවලිය නිමා කිරීම ප්‍රතිළුලදායක අවස්ථාවක් ‍ලෙස සැලකිය හැක.

2013දී ඉන්දියාවේදී පැවැති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා පිල 5 වැනි ස්ථානයට පත්ව සිටි අතර එය මෙතෙක් හොඳම ප්‍රතිළුලය වූවේය. එයින් පසු චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල ඉතිහාසය අලුත් කරමින් යළිත් වරක් ‍හොඳම ප්‍රතිළුලයක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා පිල මෙවර තරග 7කට මුහුණදී එක් තරගයක් ජයගත් අතර, තරග 3ක් පරාජයවී තරග තුනක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමා වූවේය. ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 5ක් ලබාගත් අතර, නවසීලන්තය ලකුණු 4ක්, බංග්ලාදේශය ලකුණු 3ක් හා පාකිස්තානය ලකුණු 3ක් ලබා සිටියහ. අවසන් පූර්ව වටයට පිවිසි අපරාජිත කණ්ඩායම වූ ඔස්ට්‍රේලියාව ලකුණු 13ක්, එංගලන්තය ලකුණු 11ක්, දකුණු අප්‍රිකාව ලකුණු 10ක් හා ඉන්දියාව ලකුණු 7ක් ලබා සිටියහ.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පිට පිට කාසියේ වාසිය 6 වරක් දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයකි. මුල් පෙළ පිතිකාරිණී හසිනි පෙරේරා තරග 6කදී අර්ධ ශතකයක් සමඟ ලකුණු 182ක් ලබාගත් අතර, නායිකා චමරි අතපත්තු හා නිලක්ෂිකා ද සිල්වා තරග 6කදී අර්ධ ශතකයක් සමඟ ලකුණු 168 බැගින් එක් කළහ. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 7ක් හා චමරි අතපත්තු කඩුලු 6ක්  බිදහෙලා ගැනීමට සමත් වූහ. ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී දවා ගැනීම් 5කට දායකත්වය ලබාදුන් අතර, විශ්මි ගුණරත්න උඩ පන්දු 4ක් රැක ගැනීමට සමත් වූවාය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ නිර්මාතෘ සභාපතිනි ග්වෙන් හෙරත් මහත්මියගේ මඟ පෙන්වීම යටතේ 1997දී මුල්වරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල වැනීෂා ද සිල්වාගේ නායකත්වයෙන් යුතුව ඉන්දියාවේ පැවති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගිවූ අතර, එදා මෙදා තුර ඕවර් 50 එක්දින ලෝක කුසලාන තරගාවලි 7ක් නියෝජනය කරමින් ක්‍රමික දියුණුවක් ලබා ගැනීමට සමත්ව සිටී.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee