අයි.සී.සී. කාන්තා නැගී එන කණ්ඩායම් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට (25) අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව අවසන් මහ තරගයට එක්වීමට නියමිතය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හි කරවාන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය පුරා පවත්වාගෙන ආ අපරාජිත ගමන ශූරතා ජයග්‍රහණයකින් අවසන් කර ගැනීමට ලැබෙන තීරණාත්මක අවස්ථාවකි.
තරගාවලියේ මූලික වටයේ සිටම දක්ෂතා අතර රැඳුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුපිරි හයදෙනාගේ වටයට පිවිසියේද අපරාජිතවය. එම වටයේදී ද සිය ජයග්‍රාහී රිද්මය අඛණ්ඩව පවත්වා ගනිමින් සහභාගී වූ තරග තුනම ජය ගැනීමට ඔවුහු සමත් වූහ. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තහවුරු කරගනිමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකාවට මෙවර ශූරතාව දිනා ගැනීමේ පැහැදිලි අවස්ථාවක් උදා වී තිබේ.
කෙසේ වෙතත් අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට පහසු අභියෝගයක් එල්ල නොවනු ඇත. සුපිරි හයදෙනාගේ වටයේ තරග තුනක් ජයගත් අයර්ලන්ත කණ්ඩායම ද ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කරගනිමින් අවසන් සටනට පිවිසෙයි. අවසන් සුදුසුකම් ලැබීමේ තීරණාත්මක තරගයේදී නෙදර්ලන්තය ලකුණු 44කින් පරාජය කළ අයර්ලන්තය කඩුලු 3 කට ලකුණු 162 රැස් කරමින් සිය පිතිකරණ ශක්තිය මැනවින් ප්‍රදර්ශනය කළේය. එහිදී ලාරා මැරිට්ස් නොදැවී ලකුණු 57ක් රැස් කළ අතර, ඇමී හන්ටර් ලකුණු 46ක් ලබා ගත්තාය. පන්දු යැවීමෙන් කැපී පෙනුණු කාරා මරේ ලකුණු 17කට කඩුලු 5ක් දවා ගනිමින් අයර්ලන්ත ජයග්‍රහණය තහවුරු කළාය.
ශ්‍රී ලංකාවට ද අවසන් තරගයට පිවිසෙන්නේ ප්‍රබල මානසික ශක්තියක් සමඟිනි. සුපිරි හයදෙනාගේ වටයේ අවසන් තරගයේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහිදී ඉමේෂා දුලානි පන්දු 38කදී ලකුණු 56ක් රැස් කරමින් පිතිකරණයෙන් කැපී පෙනුණු අතර, සත්‍යා සංදීපනී ලකුණු 29කට කඩුලු 3ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් දායක වූවාය. ඊට පෙර නෙදර්ලන්තය ලකුණු 57කට සීමා කරමින් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීම ද ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂතාවට කදිම නිදසුනකි.
නායිකා හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණයට විශ්මි ගුණරත්න, ඉමේෂා දුලානි ඇතුළු ක්‍රීඩිකාවන්ගෙන් ලැබෙන දායකත්වය තීරණාත්මක වනු ඇත. කවීෂා දිල්හාරි, නිමාෂා මීපගේ සහ සත්‍යා සංදීපනී ප්රමුඛ පන්දු යැවීමේ බලඇණියට ද අයර්ලන්ත පිතිකරණ පෙළ පාලනය කිරීමේ විශාල වගකීමක් පැවරේ.
අනෙක් අතට ගැබි ලුවිස්ගේ නායකත්වයෙන් යුත් අයර්ලන්ත කණ්ඩායම ද පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන් ද දක්ෂතා දක්වා තිබේ. විශේෂයෙන් කාරා මරේගේ පන්දු යැවීම ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට දැඩි අභියෝගයක් විය හැකිය.
අන්තර්ජාතික තරග වාර්තාවේත් ශ්‍රී ලංකාව ඉදිරියෙන්
දෙරට අතර මීට පෙර පැවැති අන්තර්ජාතික කාන්තා තරග වාර්තා සැලකීමේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තයට වඩා ඉදිරියෙන් පසුවෙයි. මෙතෙක් දෙපිල අතර පැවැති තරග හතෙන් තරග හයක් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්ව ඇති අතර, අයර්ලන්තය ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. ඒ අනුව ජයග්‍රහණ ප්‍රතිශතය අතින් ද ශ්‍රී ලංකාව සියයට 85.71ක ඉහළ අගයක් රඳවාගෙන සිටින අතර අයර්ලන්තයේ ජයග්‍රහණ ප්‍රතිශතය සියයට 14.29කි. එම වාර්තාව ද හෙට අවසන් මහ තරගයට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට අමතර විශ්වාසයක් එක් කරනු ඇත.
ක්‍රිකට් ලෝලීන්ගේ සහයෝගයත් අපේක්ෂාවෙන්
මෙතෙක් තරගාවලිය පුරාම අපරාජිතව පැමිණ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ශූරතා කුසලානය මව්බිමට රැගෙන ඒම සඳහා තවත් ඇත්තේ එක් ජයග්‍රහණයක් පමණි. එම අභියෝගය ජය ගැනීමට පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් වෙමින් හෙට පැවැත්වෙන අවසන් මහ තරගය සජීවීව නරඹා ඔවුන් දිරිගන්වන ලෙස සියලුම ක්‍රිකට් ලෝලීන්ගෙන් ඉල්ලා සිටිමු. රටේ අභිමානය වෙනුවෙන් සටන් වදින අපේ ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රාහී ගමනට ඔබේ සහයෝගය ද එක් කරමින් ශ්‍රී ලංකාවට ශූරතා කුසලානය දිනා ගැනීමට දිරි දෙමු.





