ලොව වැඩිම ආකර්ශණයක් සහිත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණ අතර ඉදිරියෙන්ම තිබෙන ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බවට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පත් කිරීම වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලද හිටපු පරිපාලක සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා සිය දිවි ගමනට සමුදී තිබේ. දකුණු ලක අගනුවරට අභිමානයක් වන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට නොමැකෙන මතක රැසක් එක් කිරීමට සමත් වර්ණවීර මහතා මිය ය විටත් 64 වැනි වියේ පසුවූවේය.
1986 වසරේදී පෙබරවාරි 23 වැනි දින පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව වෙනුවෙන් 33 වැනි ටෙස්ට් වරම් ලද ක්‍රීඩකයා බවට පත් වුණු වර්ණවීර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 10 කට සහ එක්දින තරග 6 කට ක්‍රීඩා කර තිබේ. ක්‍රිකට් ක්‍රීඩාව අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තණතීරු භාරකරු ලෙස භාර ධුර වගකීමේ නිරත වූ වර්ණවීර මහතා, දුෂ්කර වකවානුවලදී සිය දායකත්වය ලබා දුන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු තුළ ඇති කැපවීම මනාව පෙන්නුම් කරමිනි.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුගේ දෙවැනි නිවහන වූයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. ඔහු එහි භාරකරු ලෙසින් කටයුතු කළේය. වැසි සහිත කාලගුණයන් පතින අවස්ථාවලදී ක්‍රීඩා පිටිය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමේ කටයුත්ත ලොවට හඳුන්වා දුන්නේ වර්ණවීර මහතා විසිනි. ඔහුගේ නායකත්වය යටතේ එම ක්‍රීඩාංගණ භාරකාර කණ්ඩායම් දැක්වූ වේගවත් සහ සුවිශේෂී ක්‍රියාකාරීත්වය මුලු මහත් ලෝකයම අදටත් ප්‍රශංසාවෙන් යුතුව කතා බහට ලක් කරනු ලබන කරුණක් වී තිබේ.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරග පැවැත්වෙන අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවලට සරිලන අන්දමින් තණතීරුව සකස් කිරීම වෙනුවෙන් ඔහු තුළ තිබුණේ හසළ දැනුමකි. ඒ හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන අවස්ථාවලදී පහසුවෙන් පරාජයට පත් කළ නොහැකි කණ්ඩායමක් ලෙසින් ලෝක ක්‍රිකට් ප්‍රජාව හඳුන්වනු ලැබීය.
දකුණත් පිට දඟ පන්දු යවන්නකු ලෙසින් ක්‍රීඩා කළ වර්ණවීර මහතාගේ පන්දු යැවීමේ ඉරියව්වේ ඇතිවූ සැකයක් හේතුවෙන් ඔහුට ජාත්‍යන්තර තරග දිවිය ටෙස්ට් තරග 10 කට සහ එක්දින තරග 6 කට සීමා විය. කෙසේ වෙතත් ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසු 1994 දක්වා වූ දශකයට ආසන්න කාලයක් ඇතුළත ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 32 ක් සහ එක්දින කඩුලු 6 ක් දවා ගැනීමට සමත්වූවේය.
1992 වසරේ දී නවසීලන්තයට සහ 1993 වසරේදී එංගංලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය සඳහා ඔහු සැලකිය යුතු කාර්යය භාරයක් ඉටු කළේය. එහිදී ඔහු පිළිවෙළින් කඩුල්ලක දවා ගැනීමේ සාමාන්‍ය 23.22 ක් සහිතව කඩුලු 9 ක් සහ කඩුල්ලක දවා ගැනීමේ සාමාන්‍ය 23.50 ක් සහිතව කඩුලු 8 ක් වශයෙන් දවා ගනිමින් පන්දු යවන්නකු ලෙසින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවේය.
දේශීය ක්‍රිකට් තරග පිටියේ ඔහුගේ සුවිශේෂීම වසර වූයේ 1990 වසරය. ලක්ස්ප්‍රේ කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ගාලු ක්‍රිකට් සමාජය නියෝජනය කළ වර්ණවීර මහතා එම වසරේදී වැඩිම කඩුලු ලාභියා වෙමින් දවා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 71 කි. එහි කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 13.47 ක් ලෙසින් සටහන් වේ. පළමු පෙළ ක්‍රිකට් තරග වලදී හොඳම පන්දු යැවීම ලෙසින් බී.ආර්.සී. පිලට ලකුණු 137 කට කඩුලු 13 ක් වශයෙන් එම තරග වාරයේ සටහන් කර ගත් වර්ණවීර මහතා කඩුලු දවා ගැනීමේදී එම වසරේ කෙතරම් ඉදිරියෙන් සිටියේද කිවහොත් ඔහු පසුපසින් සිටි පන්දු යවන්නාට වඩා කඩුලු 28 ක් වැඩිපුර දවා ගැනීමට හේ සමත්වූවේය.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමේ පසු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවක සාමාජිකයකු ලෙසින්ද කටයුතු කළ වර්ණවීර මහතා, 2004 වසරේදී ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් විනාශ වුණු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යළි ගොඩ නැගීම වෙනුවෙන් කැපී පෙනෙන කාර්යය භාරයක් ඉටු කළේය. මෙහිදී රජයේ තීරණය වූයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය එම භූමියෙන් වෙනත් ස්ථානයකට රැගෙන යා යුතු බව වුවත්ථ ඊට එක හෙළාම විරුද්ධ වූ වර්ණවීර මහතා නැවතත් එම ක්‍රීඩාංගණය සුපරුදු තත්ත්වයට ගෙන ඒම වෙනුවෙන් සිය වෙහෙස මහන්සිව කටයුතු කළේය.
2015 වසරෙන් පසු ගාල්ල ක්‍රීඩාංගණයේ ප්‍රධාන භාරකරු තනතුරේ ඔහුගේ ධුර කාලය අවසන් වීමෙන් ඔහු මිය යන තෙක්ම මහනුවර, කටුගස්තොට තම නිවසේ පදිංචිව සිටියේය. ඒ මහතා ගෙවුණු වසර 5 කට අධික කාලයේදී අසනීප තත්ත්වයෙන් පසුවූවේය. එහෙත් ඊට එකහෙළාම විරුද්ධ වූ වර්ණවීර මහතා ගාල්ල ක්‍රීඩාංගණය නැවතත් සුපුරුදු තත්ත්වයට ගෙන ඒමට මහත් වෙහෙස මහන්සියෙන් කටයුතු කළේය. ඔහුගේ භාරකාරත්වයට ස්තූතිවන්නට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ලොව වඩාත්ම ආකර්ශණීය ක්‍රිකට් ක්‍රීඩාගණය ලෙසින් ඡන්දයෙන් තේරී පත්වූයේද ලොව වඩාත් ආකර්ශණීය ක්‍රීඩාංගණ ලෙසින් සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් සහ දකුණු අප්‍රිකාවේ නිව්ලෑන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණද අභිබවමිනි. මෙය සෑම ශ්‍රී ලාංකිකයකුටම සාඩම්බර විය හැකි අවස්ථාවක් ලෙසින්ද එවකට හඳුන්වනු ලැබීය.
1960 වසරේ නොවැම්බර් මස 23 වැනිදා මාතරදී මෙළොව එළිය දුටු ජයනන්ද වර්ණවීර මහතා විවාහකයකු වන අතර ඔහුට එක් පුතකු සිටියි. ගාල්ල මහින්ද විදුහලේ ආදි සිසුවකු වන වර්ණවීර මහතාගේ අවමංගල්‍යය කටයුතු ඔක්තෝබර් මස 18 වැනි සෙනසුරාදා මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරෙනු ඇත.
ඒ මහතාගේ අභාවපය පිළිබඳව නිවේදනයක් නිකුත් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ පිළිබඳව බලවත් ශෝකය පළ කර සිටියි. සමස්ථ ක්‍රිකට් ප්‍රජාව වෙනුවෙන්, මෙම ශෝක ජනක අවස්ථාවේදී වර්ණවීර මහතාගේ පවුලේ අයට, මිතුරන්ට සහ ආදරණීයයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය හෘදයාංගම ශෝකය පළ කර සිටියි.
මේ අතර ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරන ලද සේවාවට ගෞරවයක් ලෙසින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (17 දා) දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ කළු අත් පටි පැළඳ ක්‍රීඩා කරනු ඇත. එම තරගාරම්භයට පෙර කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී විනාඩියක නිශ්ශබ්දතාවයක්ද පවත්වනු ඇත.
හිටපු ක්‍රීඩකයකු සහ පරිපාලකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු දැක්වූ අමිල දායකත්වය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ මේහොතේ ආදරයෙන් සිහිපත් කර සිටියි.






