slc
logo
Home   |    News
ඔක්තෝබර් 23, 2025
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දැවැන්ත ජයක් අපේක්ෂා කරද්දී පාකිස්තානු ක්‍රීඩිකාවෝ පළමු ජය සොයයි

sinhala editor

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවසන් තරගය හෙවත් මූලික තරග වටයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගිවනු ලබන අවසන් තරගය, පාකිස්තානු කාන්තා කණ්ඩායමට එරෙහිව හෙට (24 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. පාකිස්තානු කණ්ඩායම මේ වන විටත් අවසන් කණ්ඩායම් හතර අතර තරග වටයට පිවිසීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම මග හැරී තිබෙන නමුත් ශ්‍රී ලංකාවට තවමත් ඒ සදහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් සුලු අවස්ථාවක් ඉතිරිව පවතියි.

කෙසේ වෙතත් අද (23 දා) රාත්‍රියේ පැවැත්වීමට නවසීලන්තය සහ සත්කාරක ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයෙන් ඉන්දීය පිල ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් වුවහොත් අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු සියලු බලාපොරොත්තු සුන්ව යනු ඇත. එහෙත් අද තරගයෙන් ඉන්දියාව පරාජයට පත් වුවහොත්, ශ්‍රී ලංකා පිල පාකිස්තානු පිලට එරෙහිව තරගයෙන් දැවැන්ත තරග ජයක් වාර්තා කර ගත යුතු වන අතරම ඉන්දියාවට ඉතිරිව තිබෙන අවසන් තරගය වන බංග්ලාදේශ කාන්තා පිලට එරෙහි තරගයෙන්ද ඉන්දියාව පරාජයට පත්විය යුතුය. මේ කරුණු සියල්ල එකිනෙක ගැලපුණහොත් පමණක් ශ්‍රී ලංකාවට අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවනු ඇත.

ශ්‍රී ලංකාව මෙතෙක් ක්‍රීඩා කළ තරග 6 න් 2 ක්ම වර්ෂාවට සේදී යෑමත් ජයග්‍රහණය කිරීමට තිබූ තරග 2 ක් පරාජයට පත්වීමත් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරි ස්ථානයක් පහසුවෙන්ම ලබා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් මඟ හැරී ගියේය. එහෙත් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරි ස්ථානයකට රැඳී සිටිමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් කිරීම, හෙට තරගයේ ජය ශ්‍රී ලංකාවට මෙන්ම පාකිස්තානු කාන්තා කන්ඩායම් වලට අතිශය තීරණාත්මක වේ.

මෙම තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැඳී සිටින අතර පාකිස්තානු කණ්ඩායම 8 වැනි හෙවත් අවසන් ස්ථානයේ රැදී සිටිති.

හෙට තරගය පිළිබඳව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි ඉදිරිපෙළ පිතිකාරිණී හර්ෂීතා සමරවික්‍රම සඳහන් කර සිටියේ බංග්ලාදේශයට එරෙහිව ලද ජයග්‍රහණයත් සමඟග කණ්ඩායම හෙට තරගය සඳහා හොඳ සූදානමකින් පසුවන බවයි.

“ඒ වගේම ගිය තරගය අපි ජයග්‍රහණය කරලා ඒ මානසිකත්වයෙන් කණ්ඩායමේ සියලුම දෙනා හෙට තරගයට හොද සදානමකින් ඉන්නවා.“ යැයි හර්ෂීතා සඳහන් කර සිටියාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නැවතත් ඇයගේ සුපුරුදු පිතිකරණ රටාවට රැඳී සිටීම හරහා ශ්‍රී ලංකා පිලේ පිතිකරණ කොඳු නාරටිය මේ වන විට යළිත් ශක්තිමත් වී තිබේ. ඉදිරි පෙළ නියෝජනය කරනු ලබන පිතිකාරිනියන් සියල්ලම පාහේ ලකුණු අතරට පිවිසීමට සමත්ව සිටියද ඔවුන් එසේ ලබා ගන්නා ආරම්භය දීර්ඝ ඉනිමක් බවට පරිවර්තනය කර ගැනීමට දක්වනු ලබන නොහැකියාව ශ්‍රී ලංකාවේ අසර්ථකත්වයට මූලාශ්‍ර වී තිබේ. පිතිකාරිණියන් අතර හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා මෙන්ම නිලක්ෂිකා ද සිල්වා එම ගැටලුවට මුහුණ දී තිබෙන පිතිකාරියෝ බවට පත්ව සිටිති. කෙසේ වෙතත් බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී එම බැබ්ම බිඳ දැමූ හසිනි පෙරේරා ලකුණු 85 ක් ලබා ගනිමින් එම තරගය ජයග්‍රහණයක් කරා රැගෙන යෑමට මුල්වන පරිදි පිතිහරඹයක නිරත වූවාය.

“එදා මැච් එකෙන් පස්සේ ටිම් මීටිං එකේදි අපි කතා කළේ පිතිකරුවන් විදියට අපි කොහොමද ලකුණු අතරට එන්නේ. ඉතිං නායිකාවයි කෝචුයි ඒ ගැන අපිත් එක්ක ගොඩක් කතා කළා. ඒකත් එක්ක අපේ උපරිම දක්ෂතා හෙට තරගයේදී දක්වන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ“ යැයි පිතිකරණ අංශයේ ගැන අදහස් දක්වා සිටි හර්ෂිතා පිතිකාරිණියක් හැටියට තමන්ට දීර්ඝ ඉනිමක් කරා යෑමට නොහැකිවු කරුණු පිළිබඳවද මෙසේ අදහස් දක්වා සිටියාය. “තරග 3 කදි මට හොද ස්ටාර්ට් එකක් ගන්න පුලුවන් වුනා. නමුත් මට ලොකු ඉනිමකට යන්න බැරි වුණා. ඉතිං සිටුවේෂන් එකේ සමහර සොට් සිලෙක්ෂන් වල ප්‍රශ්නයක් නිසා තමයි මට එහෙම වුණේ. පුහුණුවීම් වලදි මගේ ඒ වැරදි හදාගෙන හෙට තරගයට හොදින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා“ යනුවෙන් ඇය සදහන් කර සිටියාය.

පන්දු යැවීමේ අංශය අතින් ඉනෝකා රණවීර සහ උදේශිකා ප්‍රබෝධනී ඉතා විනය ගරුක පන්දු යැවීමක් පෙන්නුම් කළ අතර, අවසන් තරගයේදී චමරි අතපත්තුද එකම  පන්දුවාරයේ කඩුලු 3 ක් දවා ගනිමින් තමන්ටද තරගයක් දිනවිය හැකි පන්දු යවන්නකු බව පෙන්නුම් කිරීමට සමත්වූවාය. මොවුන් හැරුණු විට ඉනිමේ මැද පන්දුවාර සංඛ්‍යාව ඇතුළත භාවිතා වන සුගන්ධිකා කුමාරිද පාලනයෙන් යුතුව පන්දු යැවීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වු ඇත.

පාකිස්තානු කන්ඩායම දෙස බැලූ විට තරගාවලියේ අවාසනාවන්තම කණ්ඩයම් වලින් එකක් යනුවෙන් හැඳින්වූ වද කිසිදු වැරැද්දක් නොමැත. ඔවුන්ටද ශ්‍රී ලංකාවට මෙන්ම තරග 2 ක් වර්ෂාවට සේදී ගිය අතර ප්‍රබල එංගලන්ත පිලට එරෙහිව පහසුවෙන්ම ලබාගත යුතුව තිබූ ජයග්‍රහණයද අහිමිව ගියේය. ඒ අනුව මෙවර තරගාවලියේදී එකම හෝ ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට අපොහොසත්ව සිටින එකම කණ්ඩයම බවට පත්ව සිටින්නේද පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.

ඔවුන්ගේ ආරම්භක පිතිකාරිණියන් දෙපළ වන මුනීබා අලී සහ ඔමයිමා සොහෙයිල් ශක්තිමත් ආරම්භයක් ලබා දීමට නිරන්තයෙන්ම උත්සාහ දරන අතර, නායිකා ෆාතිමා සානා ද තම කණ්ඩායමට තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන මෙහෙයක් ඉටු කළ පන්දු යවන්නියකි. නමුත් මොවුන් සියලු දෙනාටම තරගයක් හොඳින් අවසන් කිරීමට නොහැකි වූ හේතූ අතර හවුල්කාරීත්වයක් ගොඩ නඟා ගැනීමට නොහැකිවීම විශාල පාඩුවක් වී තිබේ.

එසේ වූ කල්හි හෙට දිනයේදී දෙපාර්ශ්වයම තරගය ධනාත්මකව අවසන් කිරීමට උනන්දුවක් දක්වන නමුත්, ඊට ප්‍රධානම බාධාව බවට පත්ව ඇත්තේ අයහපත් කාලගුණයයි. දෙරට අතර එක්දින තරග ඉතිහාසය ගෙන බැලීමේදී අවස්ථා 22 කදී ජයග්‍රහණ වාර්තා කොට වැඩි ගෞරව ශ්‍රී ලංකා කණ්ඩායම අත්කරගෙන සිටින අතර පාකිස්තානු ක්‍රීඩිකාවෝ 11 වතාවක් ජය වාර්තා කරගෙන තිබේ.

හෙට ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකාව – 1. විශ්මි ගුණරත්න, 2. චමරි අතපත්තු, 3. හසිනි පෙරේරා, 4. හර්ෂිතා සමරවික්‍රම, 5. කවීෂා දිල්හාරි, 6. නිලක්ෂිකා ද සිල්වා, 7. අනුෂ්කා සංජීවනී, 8. සුගන්ධිකා කුමාරි, 9. මල්කි මදාරා, 10. ඉනෝකා රණවීර, 11. උදේශිකා ප්‍රබෝධනී.

පාකිස්තානය – ඔමයිමා සොහෙයිල්, මුනීබා අලී, සිද්‍රා අමීන්, අලියා රියාස්, නටලියා පර්වයිස්, සිද්‍රා නවාස්, ෆාතිමා සනා (නායිකා), එයිමන් ෆාටිමා, ඩයිනා බෙයිග්, නෂ්රා සන්ධු, සාදියා ඉක්බාල්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee