කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සිය දෙවැනි තරගයේදී හෙට තමන්ට හුරු පුරුදු කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වදී.
ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඉදිරියේ උපරිම ප්‍රයෝජන ගැනීමට සහ ඔවුන්ගේ පිතිකරණ සහ පන්දු රැකීමේ දුෂ්කරතා සමනය කරගෙන තරගයට මුහුණදීමට චමරි අතපත්තු ප්‍රමුඛ පිරිවර අපේක්ෂාවෙන් පසුවේ. ඉන්දියාවට එරෙහි පළමු තරගයේදී හොඳින් පන්දු යැවූ නමුත් දුර්වල පන්දු රැකීම සහ පිතිකරණය හේතුවෙන් පරාජයට පත් විය. අර්ධ ශතක දෙකක් සමඟ ඉන්දියාව ලකුණු 269ක ඉලක්කයක් ලබා දුන් අතර, එකම අර්ධ ශතකයක් හෝ වාර්තා නොවූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 211කට සීමා වූවේය.
නායිකා චමරි අතපත්තු සහ කණ්ඩායමට වත්මන් ශූරියන් වන ඕස්ට්‍රේලියාව සමඟ දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබේ. ඔස්ට්‍රේලියානු කාන්තාවෝ නවසීලන්තයට එරෙහිව පළමු ජයග්‍රහණයෙන් ඔවුන්ගේ ලෝක කුසලාන ගමන ආරම්භ කළහ.
කෙසේ වුවද ශ්‍රී ලංකා නායිකාව ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව දස්කම් දැක්වීමට නිතර ප්‍රියතාවක් දක්වා ඇති අතර, ඔවුන් සමඟ තරග නවයකදී ලකුණු 359ක් ලබාගෙන ඇත්තේ 44.9 ක සාමාන්‍යක් රඳවා ගෙනය. ඇය මෙතෙක් වාර්තා කළ එක්දින ශතක නවයෙන් දෙකක්ම ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගෙන ඇති අතර, 2017 ලෝක කුසලානයේ දී පන්දු 143කදී හයේ 6ක් හා හතරේ පහර 22ක් සමඟ ඇදහිය නොහැකි නොදැවී ලකුණු 178ක ඉනිම තවමත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ගේ මතකයෙන් ගිලිහී නැත.
ආරම්භක තරගයේදී නවසිලන්තයට එරෙහිව ඕස්ට්‍රේලියාව කඩුලු 5කට ලකුණු 128ක් දැවීගොස් තිබියදී යථා තත්ත්වයට පත්වෙමින් දැවැන්ත ලකුණු 326ක් ලබා ගත්තේ ඈෂ්ලි ගාඩ්නර්ගේ ප්‍රහාරාත්මක ලකුණු 115 සහ අංක 9 ස්ථානයේ පැමිණි කිම් ගාත්ගේ ඉක්මන් ලකුණු 38 ට ස්තුති වන්නටය.
හෙට පැවැත්වෙන තරගයට පෙර අද පැවැති මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඔස්ට්‍රේලියාවේ ඉහළ තක්සේරුව සිහිපත් කිරීමට අමතක නොකළාය. එහෙත් කුමන කණ්ඩායමක් ඉදිරියේ වුවද වෘත්තීය ක්‍රීඩිකාවන් ලෙස තම වගකීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවබෝධ කර ගැනීම වැදගත් බව ඇය අවධාරණය කළාය.
“මේක අපේ රැකියාව. ඒ නිසා තරගයක් අවසන් වුණාම කාටවත් නිදහසට කරුණු කියන්න බෑ. පළමු තරගයේදී ඉන්දියාව ලබාදුන් උඩ පන්දු කිහිපයක් අත්හැරීම ඇත්ත. ඒ වුනත් අපේ පිතිකාරිණියන් ලකුණු 270ක් ලබාගත හැකි කණ්ඩායමක්. ඒක වුණේ නෑ. මේ වගේ දැවැන්ත තරගකාරීත්වයක් ඇති තරගාවලියක ලකුණු 270කට වැඩියෙන් ගහන්න බැරිනම් ජයග්‍රහණයක් ගැන හිතන්නේ කොහොමද? ඒක මා ඇතුළු අපේ පළපුරුදු ක්‍රීඩිකාවන් දන්නවා. ලෝක කුසලානය වැනි තරගාවලියක අවසන් මහා තරගයට හෝ අවසන් වටයට යන්න නම් අඩුම තරමේ ලකුණු 270කට වැඩියෙන් ගහන්න අවශයයි. ඒ වගේම එවැනි ලකුණු ගණනක් ගහන්න බැරි නම් තරගයක් දිනා ගන්නත් ලෙහෙසි නෑ. මේ තරගයේදී අපි අපේ සැලසුම් නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුයි“ චමරි අතපත්තු පැවැසූවාය.
“ඉන්දියාවට එරෙහිව අපි සැලසුම් ගොඩක් මැද පැමිණියා. ඒ සැලසුම් ඕවර් 25ක් යනතුරු හරියටම ක්‍රියාත්මක වුණා. ඉන්දියාව වගේ කණ්ඩායමක් කඩුලු 6ක් ලකුණු 125කදී දවා ගැනීම ලොකු දෙයක්. ශ්‍රීමතී මන්දනා ඇතුලු හොද පිතිකාරිණියන් අපි ක්‍රීඩාගාරයට යැව්වා. නමුත් ඒ කරපු දේ අපිට අඛණ්ඩව තියා ගන්න බැරි වුණා. ලොකු ටීම් එකක් එක්ක තරගයකදී උඩ පන්දු අත්හැරීම ලොකු වරදක්. නමුත් ලකුණු 270ක් ඒ තණතිල්ලේ ලබාගත හැකිව තිබුණා. ඒකට නිදහසට කරුණු නෑ“
“පුහුණුකරුවන් හා ක්‍රීඩිකාවන් වගේම තේරීම් කමිටුවත් එකට ඉදලා කතා කළා. ගොඩක් තියුණු සංවාද ඒ අතරේ සිදු වුණා. ක්‍රීඩිකාවන් වගකීම් ගත යුතුයි. මේ වගේ ලොකු තරගාවලියක වැරදීම් කරන්න බෑ. ඒ නිසා මා බලාපොරොත්තු වෙනවා ක්‍රීඩිකාවන් ඉතාම වගකීමෙන් කටයුතු කරයි කියලා. අපි සෙල්ලම් කරන්නේ අපේ රටේ ජනතාව ඉදිරියේ. අපි හිතනවා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා“
“මේ වසරේ පැවැති තුන්කොන් තරගාවලියෙන් පස්සේ අපි අවධානය යොමු කළේ පන්දු රැකීම හා ශාරීරික යෝග්‍යතාව ගැන. අපේ පුහුණවීම්වලත් වැඩි වේලාවක් පන්දු රැකීම පුහුණු වෙන්න යොදවනවා. ඒ වගේම රාත්‍රී විදුලි ආලෝකය මැද පන්දු රැකීම් පුහුණු වෙනවා. ඒ නිසා ක්‍රීඩිකාවන්ට උඩ පන්දු අත්හැරලා නිදහසට කරුණු කියන්න බෑ. ක්‍රිකට් ආයතනය පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම පහසුකම් අපට දී තිබෙනවා. අපි දැන ගන්න ඕනේ වගකීම් සහගතව කටයුතු කරන්න“
“කිසිම කණ්ඩායමක් සැහැල්ලුවට ගන්න බෑ. හැම කණ්ඩායමක්ම එන්නේ ලෝක කුසලානය දිනා ගන්න. ඊයේ පාකිස්තාන – බංග්ලාදේශ තරගය දැක්කා. ඒකෙන් තේරුම් යනවා රෑන්කින් කියන්නේ ඉලක්කමක් විතරයි කියලා. බංග්ලාදේශ කණ්ඩායම කොහොමද ක්‍රීඩා කළේ කියලා දැක්කා. අපි හොදම දේ කළේ නැත්නම් අමාරුවේ වැටෙනවා. ලෝක ශූරියන්ට එරෙහිව හොදම දේ කළොත් මම දන්නවා ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා“
“පසුගිය අවුරුද්දේ විශ්මි හා හර්ෂිතා අයර්ලන්තයට එරෙහිව ශතක දෙකක් ගැහුව්වා. ඊළග ශතක තියෙන්නේ මගේ. දැන් කණ්ඩායමේ ශතකලාභීන් තිදෙනකු ඉන්නවා. මමත් හැම වේලාවෙම බලනවා දැනුම බෙදාගෙන ඉදිරියට යන්න. මේ එක්දින රටාවේ ආරම්භයක් අරන් ලකුණු 35ක් ගහලා විකට් එක විසි කරලා ගිහින් තේරුමක් නෑ. ගන්න ආරම්භය දිගටම තියා ගන්න අවශ්‍යයි. ඒක තමයි ක්‍රීඩිකාවන්ගේ වගකීම. පිතිකාරිණියන් 7ක් කණ්ඩායමේ ඉන්නවා. ඒ අය ලකුණු තිහේ ඒවා ගහලා තරගයක් දිනන් බෑ. අනිවාර්යයෙන්ම එදා දවසේ දක්ෂතා අතරට එන තුන් හතර දෙනා ලකුණු 70ක් ගහන්න අවශ්‍යයි“ චමරි අතපත්තු පැවැසූවාය.





