අවසන් පන්දුවාරය තෙක්ම බංග්ලාදේශ කන්ඩායම සතුව තිබූ ජයග්‍රහණය කිසිවකුත් අපේක්ෂා නොකළ අයුරින් තමන් වෙතට ළඟා කරගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 7 ක ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවා ගෙන ගියාය. මුම්බායිහි පැවැති මෙම තරගයේදී චමරි යැවූ අවසන් පන්දුවාරයේ පළමු පන්දු 4 දී කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වීම නිසා, අතේ තිබූ ජයග්‍රහණය පසෙකලා හැඬූ කඳුලින් පිටියෙන් නික්ම යෑමට ප්‍රතවාදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට සිදුවිය.
පිතිකරුවන්ට යෝග්‍ය යැයි සැලෙකන මුම්බායි තණතීරුවේදී ජයග්‍රහණය සඳහා ලකුණු 203 ක පහසු ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම 45 වැනි පන්දුවාරය අවසන් වන විටත් කඩුලු 3 කට ලකුණු 176 ක් ලබා සිටියේය. ඒ වන විටත් ඔවුන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍යව පැවැතියේ පන්දු 30 කින් ලකුණු 27 ක් පමණක් වන අතර අර්ධ ඔශතකයක් රැස් කරගෙන සිටි නායිකා නිගර් සුල්තානා ඒ වන විටත් කඩුල්ලේ රැඳී සිටියාය.
කෙසේ වෙතත් ප්‍රතිවාදී පිතිකාරිණියන් හමුවේ ආක්‍රමණශීලී පන්දු රැකීමක් සහ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඔවුන්ගේ ඉලක්කය අවසන් පන්දු 12 දී ලකුණු 12 ක් දක්වා අවම පරතරයකට රැගෙන ආහ. කෙසේ වෙතත් අවසන් පන්දුවාරය යැවීම වෙනුවෙන් චමරි පන්දුව භාර ගන්නා විට ඔවුන්ගේ ඉලක්කය වූයේ පන්දු 6 කදී ලකුණු 09 කි.
මෙහිදී ක්‍රියාත්මක වුණු චමරි පළමු පන්දුවෙන්ම රෙබෙයා ඛාන් දවා ගත් අතර ඊලඟ පන්දුවේදී නහිදා අක්තාර් දුවද්දී දැවී ගියාය. අනතුරුව යවන ලද පන්දු 2 දීද නායිකා නිගර් සුල්තානා සහ මුර්ෆා අක්තාර් දවා ගත් ශ්‍රී ලංකා නායිකාව පස්වැනි පන්දුවද එක් ලකුණකට සීමා කරමින් තරගයේ ජය ශ්‍රී ලංකා පිලට සනාථ කර දීමට සමත්ව සිටියාය.
මෙම වික්‍රමයට පෙර 46 වැනි පන්දුවාරය යැවීම සදහා පන්දුව අතට ගත් චමරි, එතෙක් ෂෝනා අක්තාර්ගේ කඩුල්ල දවා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නව පණක් ලබා දීමට සමත්වූවාය. එතැන් පටන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ යළිත් හිස එසවූහ.
බංග්ලාදේශ පන්දු රකින්නියන් විසින් උඩ පන්දු බිම අතහැරීමෙන් ලබා දුන් තල්ලුවෙන් අනගි ප්‍රෙයා්ජන ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 202 ක් ලකුණු පුවරුවේ රැඳවූහ. ශ්‍රී ලංකා පිල මෙවැනි අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වූයේ තරග 32 වැනි පන්දුවාරයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 5 කට ලකුණු 174 ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටි පසුබිමකදීය. ඒ වන විට ලකුණු 37 ක් ලබා ගත් නිලක්ෂිකා ද සිල්වා සහ ලකුණු 85 ක් ලබා ගත් හසිනි පෙරේරා යන දෙදෙනාම කඩුල්ලේ රැඳී සිටියහ.
එහෙත් නිලක්ෂිකා ද සිල්වා දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ම ලකුණු 28 ක් ඇතුළත නිමා වූයේ 48 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව ක්‍රියාත්මක කිරීමත් සමඟය. මුහුණ දුන් 65 වැනි පන්දුවේදී අංක 3 පිතිකාරිණී හසිනි පෙරේරාගේ මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කර ගත්තාය. ඇය තම මංගල අර්ධ ශතකය වාර්තා කරන ලද්දේ 59 වැනි ජාත්‍යන්තර තරගයකට සහභාගිවීමෙන් අනතුරුවය. ඒ සමම ඇය අද දිනයේදී එක්දින ජාත්‍යන්තර තරග දිවියේ ලකුණු 1000 සීමාවද ඉක්මවා ගියාය.
මුහුණ දුන් පළමු පන්දුවේදීම විශ්මි ගුණරත්න දැවී යෑම නිසා පන්දුවට පහර දීමට පැමිණි හසිනි ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 99 කට මුහුණ දී ලකුණු 85 ක් රැස් කරගෙන සිටියාය. ඒ ඊට එල්ල කරන ලද හයේ පහරත් තවත් හතරේ පහර 13 ක්ද සමගිනි. ඇය සහ චමරි අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු සංඛ්‍යාව 72 කි.
චමරිගේ දැවී යෑමත් සමගින් ලකුණු 100 වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4 ක් ලෙසින් සංශෝධනය වූ නමුත් අනතුරුව හසිනිට එක් වූ නිලක්ෂිකා ද සිල්වා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවූහ. මේ අතරතුරදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන් අතින් උඩපන්දු කීපයක්මගිලිහී ගියහ.
හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමගින් පන්දු 43 කට මුහුණ දුන් චමරි ලකුණු 46 ක් ලබා ගත්තේ ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වෙමිනි. ඒ අතරතුදී එක්දින ජාත්‍යන්තර තරගවල ලකුණු 4000 සීමාව ද ඉක්මවා ගියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි දස්කම් දැක්වූ පළමු පිතිකාරිණිය බවට පත් වෙමිනි. එමෙන්ම ලෝකයෙන්ම එවැනි දස්කම් දක්වන ලද 20 වැනි පිතිකාරිණිය බවට චමරි පත්වද්දී අඩුම ඉනිම සංඛ්‍යාවකින් එම කඩඉම පසු කරන ලද 15 වැනි ක්‍රීඩිකාව බවටද ඇය පත්වූවාය. ඇය එම දක්ෂතාව දක්වන ලද්දේ තමන් ක්‍රීඩා කර ලද 120 වැනි ඉනිමේදීය. පන්දු යැවීමේදී පන්දුවාර 10 කදී ලකුණු 42 කට කඩුලු 4 ක් දවා ගත් චමරි මෙම තරගයේදී ලකුණු 4000 සීමාව ඉක්මවා යෑමට අමතරව තම එක්දින තරග දිවියේ කඩුලු 50 සීමාවද මෙම තරගයේදී සටහන් කර ගැනීමට සමත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 202 යි – (හසිනි පෙරේරා 85, චමරි අතපත්තු 46, විශ්මි ගුණරත්න 00, හර්ෂිතා සමරවික්‍රම 04, කවීෂා දිල්හාරි 04, අනුෂ්කා සංජීවනී 02, සුගන්ධිකා කුමාරි 01, උදේශිකා ප්‍ර බෝධනී 08, මල්කි මදාරා 09, ඉනෝකා රණවීර 02*, ෂෝනා අක්තාර් 27/3, රබියා ඛාන් 39/2)
බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 195 යි – (ශර්මින් අක්තාර් 64, නිගාර් සුල්තානා 77, ෂෝනා අක්තාර් 19, චමරි අතපත්තු 42/4, සුගන්ධිකා කුමාරි 38/2, උදේශිකා ප්‍ර බෝධනී 29/1)




