හොංකොං දේශයේ පැවැත්වෙන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා සය සාමාජික කණ්ඩායමේ නායකයා ලෙස යළිත් වරක් තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මදුශංකව පත් කර තිබේ. වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ළහිරු මධුශංක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 4කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 කට ක්‍රීඩා කර තිබේ.
ඉකුත් 2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන කණ්ඩායමට ළහිරු මදුශංකව ඇතුළත් කර තිබුණද ඊට පෙර දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලි අතරතුරදි බෙල්ලේ ආබාධයකට ගොදුරුවීම නිසා ඔහුට එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව ගිලිහී ගියේය.
කෙසේ වෙතත් ඉකුත් වසරේ පැවැති හොංකො සික්සස් ක්‍රිකට් තරගාවලියේදී නායකත්වය හෙබවූ ළහිරු මදුශංක වසර 17 කට පසු ශ්‍රී ලංකාවට එම කුසලාන දිනා දීමට සමත්වූවේය. 33 වැනි වියේ පසුවන මදුශංකට අමතරව නම් කර ඇති සෙසු ක්‍රීඩකයින් 6 දෙනා අතුරින් ධනංජය ලක්ෂාන්, නිමේෂ් විමුක්ති, තරිඳු රත්නායක සහ නිමේෂ් විමුක්ති ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයෝ වෙති. සචිත ජයතිලක කණ්ඩායමේ 7 වැන්නා ලෙස නම් කර තිබෙන අතර මොවුන් සුබසිංහ අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් කර තිබේ.
මෙවර නම් කරන ලද කණ්ඩායමට ඉකුත් වසරේ ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් අතරින් ඇතුළත් නොවන්නේ සඳුන් වීරක්කොඩි වන අතර ඔහුට අමතරව අනෙක් ක්‍රීඩකයින් 6 දෙනාම නම් කරන ලද කණ්ඩායමට ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.
ක්‍රිකට් හොංකොං විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය නොවැම්බර් මස 07 සහ 08 දෙදින දී හොංකොං දේශයේ පැවැත්වෙනු ඇත. රටවල් 12 ක් තරග වදිනු ලබන මෙවර තරගාවලියේදී මූළික වටය කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඩී‘ කාණ්ඩය යටතේ තරග වදින අතර බංග්ලාදේශය සහ සත්කාරක හොංකොං කණ්ඩායම එම වටයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීහු බවට පත්ව සිටිති.
අවසන් වසරේදීි පාකිස්තානු කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා සය සාමාජික ශූරතාව දිනා ගැනීමට සමත්වූ අතර එහිදී අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ධනංජය ලක්ෂාන් ද තරගාවලියේ වීරයා ලෙසින් තරිඳු රත්නායකද සම්මාන දිනාගත්හ.
හොංකොං යන ශ්‍රී ලංකා කණ්ඩායම – ළහිරු මදුශංක (නායක), ධනංජය ලක්ෂාන්, තනුක දාබරේ, නිමේෂ් විමුක්ති, ළහිරු සමරකෝන්, තරිඳු රත්නායක, සචිත ජයතිලක. අතිරේක – මොවින් සුබසිංහ.




