කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටය යටතේ වන තරග 3 කට සහභාගිව අවසන්ය. ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය ප්‍රතිඵල රහිත වුවද ඉන්දියාව සහ එංගලන්තයට එරෙහි තරග ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වූවේය. කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම් අතර අසීරුතම තරග 3 බවට පත්වූයේද මෙකී තරග 3 වේ. එම තරග තුනෙන් ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිත වීම ප්‍රධාන කොට ලද ප්‍රසාද ලකුණුද ශ්‍රී ලංකාවට අතිරේක වාසියක් ව තිබේ.
තත්ත්වයන් මෙවන් තලයක පවතිද්දී ශ්‍රී ලංකා පිලට මූලික වටය යටතේ තවත් තරග 4 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. එම තරග 4 ම ජයග්රහණයන් බවට පත් කිරීමට සමත් වුවහොත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටය වන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයට යෑමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකිවනු ඇත. ඉන් පළමු තරගය වන්නේ හෙට (14 වැනිදා) නවසිලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය වේ.
“අපිට ඇවිත් සහයෝගය දෙන්න. මම කියන්නේ බලාපොරොත්තු අත්හරින්න එපා කියලා. මම කියන්න කැමැතියි නවසීලන්තය කියන්නේ මීට මාස කීපයකට පෙර අපි එක්දින මෙන්ම විස්සයි-20 යන ආකෘති දෙක යටතේම අපි පරාජයට පත් කරපු කණ්ඩායමක්. ඉතිං මම මෙතනදි අදහස් කරන්නේ අපි ජයග්‍රහණයක් කෙරෙහි අවධානය යොමු කරමින් යන සෑම තරඟයක්ම ජයග්‍රහණයක් සඳහා සැලසුම් කරනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා, ඒක හෙට වෙයි කියලා. ඒක මගේ බලාපොරොත්තුව; ඒක තමයි ප්රේක්ෂකයන්ගේත් බලාපොරොත්තුව, ඒ වගේම ඔවුන් ඇවිත් කණ්ඩායමට සහයෝගය දක්වනවා දකින්න අපි ගොඩක් සතුටු වෙනවා“ යැයි හෙට තරගය පිළිබඳව අද (13 දා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ශක්තියක් ලබාදීම වෙනුවෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස විවෘත ආරාධනයක් සිදු කළේය.
හෙට තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉක්මනින්ම සකසා ගත යුතු අඩුපාඩු කීපයක්ම කණ්ඩායම තුළ ඉතිරිව තිබේ.
ඒ අතරින් ප්‍රධානම කරුණ බවට පත්ව තිබෙන්නේ වැදගත්ම අවස්ථාවන්වලදී ප්‍රතිවාදීන් විසින් ලබා දෙන උඩ පන්දු අතහැර දැමීමයි. මෙය ඉන්දියාවට එරෙහිව සහ එංගලන්තයට එරෙහිව පැවැති තරග වලදී පැහැදිළිවම දැකගත හැකි විය. මෙකී උඩ පන්දු ගිලිහී යෑම් තරගයේ අවසන් ප්‍රතිඵලයට සෘජුවම බලපෑ සාධකයක් විය.
මෙහිදී ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා පන්දු රකින්නනියන් අතින් ගිලිහී ගිය උඩ පන්දු සංඛ්‍යාව 4 කි. කඩුලු 6 කට ලකුණු 124 ක් වශයෙන් අසීරු තත්ත්වයක සිටි ඉන්දීය කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 269 ක අභියෝගාත්මක ඉලක්කයක් ලබා දීමට එම උඩපන්දු ගිලිහී යෑම් ඉන්දීය පිතිකාරිණියන්ට ප්‍ර යෝජනවත් විය.
එංගලන්තයට එරෙහිව ඉකුත් සෙනසුරාදා පැවැති තරගයද ඉන්දියාවට එරෙහි තරගයේම කාබන් කොපියක් බඳු විය. එංගලන්ත නායිකා නැට් ස්කිවර්-බුන්ට් ලකුණු 03 ක් ලබා සිටියදී ඉනෝකා රණවීරගේ පන්දුවක් හමුවේ මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි උදේශිකා ප්‍ර බෝධනී අතට ලබා දුන්නේය. එය උදේශිකා විසින් රැක ගැනීමට සමත්වූයේ නම් බ්‍රන්ට්ගේ පිත්තෙන් පැමිණි ලකුණු 117 න් ලකුණු 114 ක්ම අඩු කර ගැනීමට ශ්‍රී ලංකාවට පහසුම අවස්ථාවක් පැවැතියේය. එම උඩපන්දු ගිලිහී යෑමෙන් වරම් ලබා ගත් එංගලන්ත නායිකාව, පන්දුවාර 35 ක් අවසනදී කඩුලු 6 කට ලකුණු 168 ක් ලෙසින් අසීරු තත්ත්වයක සිටි එංගලන්ත ඉනිම ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමට ද සමත්වූවාය.
ඒ අනුව පන්දු රැකීමේ අංශයෙන් පිටිය තුළදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් සිදුවන මෙම අතපසුවීම් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට කැපී පෙනෙන බලපෑක් ඇතිකර තිබෙන බව සක්සුදක් සේ පැහැදිළිය.
ඊට අමතරව වැඩි දියුණු කළ ගත යුතු අනෙක් අංශ අතර පිතිකරණය ඉදිරියෙන්ම තිබෙන නමුත්, පන්දු යැවීමේදීද සැලකිය යුතු මට්ටමේ දුර්වලතා ප්‍රදර්ශනය කිරීම, මෙවැනි මට්ටමේ ක්‍රීඩිකාවන්ගෙන් කිසි සේත්ම බලාපොරොත්තු විය නොහැක.
මෙතෙක් ක්‍රීඩා කරන ලද තරග දෙකේදී පැහැදිළිවම දක්ෂතා අතරට පැමිණිමට සමත් වූ එකම පන්දු යවන්නිය වූයේ ඉනෝකා රණවීර බව අවිවාදිතය. ඇයගේ පන්දු පාලනය, වේගය මෙන්ම දඟ කැවීම සෙසු ක්‍රීඩිකාවන්ට වඩා ඉදිරියෙන් තිබෙන නමුත්, ඇයට හිමි පන්දුවාර 10 ට අමතරව තවත් පන්දු වාර 40 ක් ප්‍රතිවාදී ඉනිම වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතුය. ඒ අනුව සෙසු පන්දු යවන්නියන්ගේ පන්දු යැවීම පිළිබඳව නම් එතරම් ප්රසාදයකින් කතා කළ නොහැක්කේ ප්‍රතිවාදී පිතිකරුවන්ගේ කඩුල්ල ඉලක්ක කරගනිමින් පන්දු යවන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කිරීමේදීය. ඔවුන් කඩුල්ල තුළට පන්දු යොමු කරන්නේ කලාතුරකිනි. බහුතරයක් පන්දු පා ඉන්න පෙදෙසටත් පිට ඉන්නෙන් ඈතටත් වන සේ යොමුවීම සුලභ දසුනක් වී තිබෙන අතර ඉන් ප්‍රතිවාදී කණ්ඩායම්වල පිතිකාරිණියන් බොහෝ සෙයින් සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමත්ව සිටියි.
එය වෙනත් අයුරකින් සදහන් කරන්නේ නම් එක් පන්දු යවන්නියකට පන්දුවාරයේ යැවිය යුතු පන්දු 6 ම එකම ඉලක්කයකට යැවීම සිදු නොවන තරම්ය. මේ දක්වා තරගාවලිය නියෝජනය කළ ඇති බංග්ලාදේශ සහ පාකිස්තානු කණ්ඩායම් වල පන්දු යවන්නියන් පවා පන්දු යැවීමේ නිවැරදි ඉලක්කය සහ දඟ පන්දු යවන්නියන් නම් ඔවුන් පන්දුව පතිත කළ යුතු ස්ථානය සහ පන්දුව යොමු කිරීමේදි තබා ගත යුතු වේගයේ පාලනය ඉතාම ඉහළ මට්ටමක පවත්වාගෙන යන්නේය.
මේ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා විසින් සිදුකරන ලද විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ එවැනි අතපසුවීම් කීපයක්ම කණ්ඩායම තුළ සිදුවී තිබෙන බවත්, ඒ පිළිබඳව පන්දු යැවීම පිළිබඳව කටයුතු කරන පුහුණුකරු සමඟ එක්ව ක්‍රීඩිකාවන් සමග සැලසුමක් දියත් කළ බව සඳහන් කර සිටියේය.
“බෝලිං කෝච් එක්ක මේ ගැන අපි ප්ලෑන් කළා. එකක් ප්ලෑන් කරන්නේ. එකක් වෙන්නේ. ඉතිං ඒක මට පුහුණුකරු හැටියට ප්රෙ හේලිකාවක්. අපි මෙතැනදි බලන්න ඕන ටැක්ටික්ස් කිරීමේදී එතැනට ගිහිං මාරු කරනවාද නැත්නම් ඇඟෙන්ම එහෙම කරනවාද කියලා. මම ක්‍රීඩා කරන කාලෙත් ඔහොම දෙයක් වුණා. මම දාන්නේ ඉන් ස්විං පන්දු. නමුත් යවන්නේ අවුට් ස්විං“
“ඇත්තටම අපි සැලසුම් කරපු දේ එතනට ගිහිල්ලා කරන්නේ නැත්නම් එ්ක ලොකු ප්‍රශ්නයක්. හුගක් වෙලාවට හිතන තැනට නොවෙයි පන්දුව දැමෙන්නේ. ඒක ඇත්තටම කාර්මික ප්‍රශ්නයක්. මේක මේ වගේ මට්ටමකට ඇැවිල්ලා හදන්න ඕන දෙයක් නොවෙයි. මේ ලෙවල් එකට එන්න ඕන ඒ වගේ දේවල් හදා ගෙන. ඉතිං බෝලිං කෝච්ට මේ වගේ දේවල් එක පාරටම හදන්න අමාරුයි. අපි ඉන්නේ එතනයි“ යැයි රත්නායක මහතා වැඩිිදුරටත් සඳහන් කර සිටියේය.
පිතිකරණයෙන්ද එසේම. කණ්ඩායම සතු ප්‍රධානම පිතිකාරිණියන් ලකුණු 30 සහ 40 සිමාවන් වලට පැමිණියද එය තරගයක් ජයග්‍රහණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ. ලොව හොඳම කණ්ඩායම් 8 අතර පැවැත්වෙන විශිෂ්ඨතම තරගාවලියකදී එම ඉනිම් අර්ධ ශතක මෙන්ම ශතක බවට පරිවර්තනය කර ගැනීම පිතිකාරිණියන්ගේ වගකිම වේ. ශ්‍රී ලංකාව මෙතෙක් තරගාවලියේ ක්‍රීඩා කරන ලද තරග අතරින් පිතිකාරිණියක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ඉන්දියාවට එරෙහිව චමරි අතපත්තු විසින් වාර්තා කර ලද ලකුණු 43 වේ.
ඒ සියල්ල එවැනි තත්ත්වයක පත්වද්දී හෙට තරගය පිළිබඳව අවධානය යොමු කිරීමේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරග කිරීමේදී නවසීලන්ත කණ්ඩායම සතුව ඇති ගැටලුව වන්නේ අවසන් වරට ඔවුන් ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලිය 2-1 ක් ලෙස පරාජයට පත්ව තිබීමයි. 2023 වසරේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේදී චමරි අතපත්තුගේ දක්ෂතා මත පදනම්ව තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්වීමයි. ඇය පන්දු 80 කින් ලකුණු 140 ක් ලබා පිත්තෙන් වැඩි කාර්යය භාරයක් සිදුකළාය.
මෙතෙක් තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායමද තරග 3 කට ක්‍රීඩා කරමින් එක් ජයග්‍රහණයක් වාර්තා කොට ප්‍රසාද ලකුණු සටහනේ 05 වැනි ස්ථානයේ රැඳී සිටින්නේය. ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේ රැඳී සිටියද ශ්‍රී ලංකාවේ පිතිකරණ අංශයට සාපේක්ෂව ඔවුන් ආසියානු තණතීරුවලදී වැඩි දක්ෂතා දක්වා තිබීම, ශ්‍රී ලංකාව හෙට තරගයේදී අභියෝගයක් වනු ඇත. ඔවුන් ක්‍රීඩා කරන ලද තරග තුනේදීම ලකුණු 225 ත් ලකුනු 240 ත් අතර සංඛ්‍යාවන් අතර රැඳී සිටියි. එහෙත් එංගලන්තයට එරෙහිව සෙනසුරාදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 164 න් නිමාවට පත්විය.
හෙට ක්‍රීඩා කිරීමට අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව – 1 හසිනි පෙරේරා, 2 චමරි අතපත්තු (නායිකාව), 3 හර්ෂිතා සමරවික්‍රම, 4 විශ්මි ගුණරත්න, 5 කවිෂා දිහාරි, 6 නිලක්ෂිකා සිල්වා, 7 අනුෂ්කා සංජීවනී, 8 දෙව්මි විහංගා, 9 සුගන්දිකා කුමාරි, 10, උදේශිකා ප්‍ර බෝධනී, 11 ඉනෝකා රණවීර.
නවසීලන්තය – 1 සුසී බේට්ස්, 2 ජෝර්ජියා ප්ලිමර්, 3 ඇමීලියා කර්, 4 සොෆී ඩිවයින් (නායිකා), 5 බෲක් හැලිඩේ, 6 මැඩි ග්‍රීන්, 7 ඉසබෙලා ගේස් , 8 ජෙස් කර්, 9 රෝස්මරී මේර්, 10 ලී ටහුහු, 11 ඊඩන් කාර්සන්.






