slc
logo
Home   |    News
ඔක්තෝබර් 15, 2025
නිලක්ෂිකා එක් කළ බලාපොරොත්තු වැස්ස විසින් සෝදා දමයි

sinhala editor

පෙර තරග වලදී පිතිකරණයේ සිදුවූ දුර්වලතාවන් මඟ හරවා ගනිමින් සාර්ථක පිතිහරඹයක නිරත වීමට නිලක්ෂිකා ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකාරිණියෝ සමත් වුවද ශ්‍රී ලංකා ඉනිමෙන් පසු තරගයට ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව අද (14 දා) පැවැති එක්දින තරගය විසඳුමකින් තොරව නිමාවට පත්විය. ඒ අනුව ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය මෙන් දෙපිළම එක් ප්‍රසාද ලකුණු බැගින් හිමිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පන්දුවාරයේදී උදුරා ගන්නා ලද ලකුණු 16 ත් සමග පන්දු 26 කදී අර්ධ ශතකය සම්පූර්ණ කර නිලක්ෂිකා ද සිල්වාගේ පිතිහරඹයට ස්තූතිවන්නට නියමිත පන්දුවාර 50 අවසන් වන විට ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 6 ක් දැවී ලකුණු 258 ක් රැස් කර ගැනීමට හැකියාව ලැබිණ. මෙයට මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයකදී කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද මෙය සනිටුහන් විය. එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලයකදී රැස් කරන ලද දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද අද තරගයේ රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව වාර්තා විය.

එහෙත් ශ්‍රී ලංකා ඉනිම නිමාවෙන් පසු මද වේලාවකට පසු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට මහ වැස්සක් ඇද හැලුණු බැවින් තරගය යළිත් ආරම්භ කිරීමට නොහැකි විය. රාත්‍රී 8.00 ට පමණ මඳකට වර්ෂාව නැවතුණු අතර එහිදී ක්‍රීඩාංගණ සේවකයින් මහත් පරිශ්‍රමයක් දරමින් ක්‍රීඩාංගණයේ පිරී තිබූ ජලය ඉවත් කිරීමේ කාර්යයේ නියැලුණහ. එහි ප්‍රතිඵලයක් ලෙස තරගය රාත්‍රී 9.15 ට පමණ පන්දුවාර 30 ක් වන සේ පැවැත්වීම කෙරෙහි තරග විනිසුරුවරුන් මෙන්ම තරග තීරකවරිය ලෙසින් කටයුතු කළ ජී. එස්. ලක්ෂිමි මහත්මිය දැඩි උත්සාහයක නිරත වූහ. එහෙත් නැවතත් ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැළුණු බැවින් ඉන් මිනිත්තු 5 කට පමණ පසු තරගය එදිනට අත හැර දැමුණු බව නිවේදනය කෙරිණ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ නිලක්ෂිකා ද සිල්වා පන්දු 26 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කියමිනි. ඇය විසින් බිඳ හෙළන ලද්දේ මීට පෙර ඇය විසින්ම පන්දු 28 කදී රැස් කර තිබූ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව වේ.

ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට පන්දු 28 කට මුහුණ දී සිටි දකුණත් පිතිකාරිණිය නොදැවී ලකුණු 55 ක් රැස් කරගෙන සිටියේ සිය එක්දින තරග දිවියේ ලකුණු 1000 සීමාවද පසු කර යමිනි. මෙය නිලක්ෂිකාගේ එක්දින තරග දිවියේ සිව්වැනි අර්ධ ශතකය ලෙසින් සනිටුහන් විය. ඒ අනුව නිලක්ෂිකා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග අංශයේ ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය 8 වැනි පිතිකාරිණිය ලෙසින් අද ඉතිහාස පොත් වලට එක් විය. අයගේ මෙම සුවිශේෂී ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත්ව තිබිණ.

ඇයට අමතරව පිත්තෙන් සාර්ථක වුණු නායිකා චමරි අතපත්තු අද දිනයේ තම 20 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කර ගත්තාය. ඇයට අමතම විශ්මි ගුණරත්න (42) සහ හසිනි පෙරේරා (44) ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගැනීම වෙනුවෙන් පිත්තෙන් කැපී පෙනෙන මෙහෙවරක් කරන ලද පිතිකාරිණියන් බවට පත්වූහ.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් චමරි සහ විශ්මි පළමු පන්දුවාර 10 අවසන් වන විට ලකුණු පුවරුව ලකුණු 52 ක් ලෙසින් රැඳවූයේ එකම කඩුල්ලක් හෝ ලබා නොදෙමිනි. ඔවුන් අතර සම්බන්ධතාව බිඳ වැටුණේ මුලු ලකුණු සංඛ්‍යාව 101 ක් තිබියදීය. ඒ චමරිගේ දැවී යෑමත් සමඟිනි. විශ්මිද ලකුණු 125 ක්ව තිබියදී දැවී ගිය නමුත් හසිනි පෙරේරාට එක්වූ හර්ෂිතා සමරවික්‍රම (26) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක් එක් කළේ පන්දු 72 ක් පමනක් වැය කරමිනි.

ශ්‍රී  ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේ ලකුණු මැෂිම බවට පත්වූ නිලක්ෂිකාගේ පිතිහරඹය හේතුවෙන් අවසන් පන්දුවාර 10 ඇතුළතදී ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් වුණු ලකුණු සංඛ්‍යාව 80 ක් විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුණු 258 යි – නිලක්ෂිකා ද සිල්වා 55*, චමරි අතපත්තු 53, විශ්මි ගුණරත්න 42, හසිනි පෙරේරා 44, හර්ෂිතා සමරවිකම 26, කවීෂා දිල්හාරි 04, පියුමි වත්සලා 07, අනුෂ්කා සංජීවනී 06*, සොෆී ඩිවයින් 54/3, බ්‍රී ඉලිං 39/2, රෝස්මේරි මයර් 29/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee