slc
logo
Home   |    News
ඔක්තෝබර් 20, 2025
සිඳුවූ දේ අමතක ක‍ොට තරගාවලිය ‍හොඳින් නිමා කරනවා – විශ්මි ගුණත්න

sinhala editor

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් 17 වැනිදා නිමාවට පත්වූ දකුණු අප්‍රිකාව සමඟ තරගයේ අමිහිරි අත්දැකීම් ඉක්මණින් අමතක කොට දමා ඉදිරි තරග දෙකම ජය‍ෙන ලෝක කුසලාන තරගාවලියේ හොඳ ස්ථානයකට පැමිණ නිමාව සටහන් කිරීම කණ්ඩායමේ එකම අදිටන බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණත්න පැවැසූවාය.

ඇය ‍මේ බව පැවැසූ‍වේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් අනතුරුව ප්‍රේමදාස පිටියේ පැවැති මාධ්‍ය හමුවේදීය. මෙම තරගය ආරම්භයේදී ඕවර් 50ක එකක් වුවද ධාරාණිපාත වර්ෂාවෙන් පසු ඉතිරිව තිබූ කාලය අනුව ඕවර් 20ක තරගයක් ලෙස පැවැත්වීමට විනිසුරුවෝ තීරණය කළහ. ශ්‍රී ලංකා පිල ඕවර් 20කදී කඩුලු 7කට ලකුණු 105ක් ලබාගත් අතර, ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ දකුණු අප්‍රිකාවට ලකුණු 121ක ඉලක්කයක් එල්ල විය. එහෙත් ඕවර් 14.5කදී කිසිවෙකු නොදැවී ලකුණු 125ක් ලබා දකුණු අප්‍රිකා පිල ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් විශ්මි ගුණරත්න පන්දු 33කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වූවේය. ඇය ලකුණු 12ක් ලබා සිටියදී වේග පන්දු යැවූ ක්ලාස්ගේ පන්දුවක් පාදයේ වැදී ක්‍රීඩාගාරයට ගිය අතර පසුව වර්ෂාවත් සමඟ පැය 4කට පමණ පසු යළි පන්දුවට පහරදීමට පැමිණියාය.

“දකුණු අප්‍රිකාව සමඟ තරගය අමතක කරලා අපි ඉදිරියේ හමුවන පාකිස්තානය හා බංග්ලාදේශය සමඟ තරග හොදින් ක්‍රීඩා කළ යුතුයි. අපි ඉන්දියාවට ගිහින් බංග්ලාදේශය සමඟ තරගය ක්‍රීඩා කරනවා. වුණ දේ අමතක කරලා ඉදිරියේ තරග හොදින් නිමාකොට ලෝක කුසලාන තරගාවලියේ හොඳ තැනකින් නිමා කරන්න බලාපොරොත්තු වෙනවා“ විශ්මි ගුණරත්න පැවැසූවාය.

“ කාලගුණය ගොඩක් බලපෑම් ඇති කළා. ඒ වුණත් කාලගුණික තත්ත්වය අපට පාලනය කරන්න බෑ. අපට කළ හැකි දේ කෙරෙහි අපි අවධානය යොමු කළා. වැස්සෙන් පස්සේ ඕවර් 20කට තරගය සීමා වූ පසුව අපට අවශ්‍ය වුණේ ලකුණු 120ක් පමණ ලබා ගන්න. අපි කල්පනා කළා දකුණු අප්‍රිකා පිලට හොඳ තරගයක් දෙන්න. අපේ සැලසුම වුණේ ඒකයි. මොකද වැස්සට තරගය නතර කරද්දී ඕවර් 12ක් යවා තිබුණා අපි ලකුණු 46ක් ලබාගෙන“ 

“ඕනෑම ක්‍රීඩිකාවකට හොඳ කාලයක් වගේම නරක කාලයක් එන්න පුළුවන්. මට යළිත් සුපුරුදු ස්ථානයේ ලකුණු අතරට එන්න පුළුවන් වුණා. ආපහු හොඳ කාලයක් ආවා කියලා හිතනවා. ඇතැම් දේවල් තියෙනවා අපට පාලනය කර ගන්න බැරි දේවල්. ඒ නිසා මට විශ්වාසයක් ඇති වුණා යළිත් මට මගේ ක්‍රීඩාව දියුණු කරගන්න පුළුවන් කියලා“ විශ්මි ගුණරත්න සඳහන් කළාය.

“ඇත්තටම චමරි අක්කා වගේම හසිනි අක්කා කියන්නේ අපේ කණ්ඩායමේ ලොකු විකට් දෙකක්. ඒ දෙදෙනා දැවී ගිය පසු හර්ෂිතා අක්කා හා කවීෂා අක්කා ඇවිත් ඉනිම හොඳින් ඉදිරියට ගෙන ගියා. මොකද අපි ආරම්භයේදී ඕවර් 50 තරගයකට සූදානමින් ක්‍රීඩා කළේ. නමුත් වැස්ස ආවා දිගටම. තරගය ඕවර් 20ක් වුණාම අපිට ඒක විශාල බලපෑමක් වුණා“

මේ තරගයේදී ඔබට සිඳුවූ ආබාධය කොහොමද යන්න මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට විශ්මි ගුණරත්න පැවැසූවේ එය එතරම් දරුණු එකක් නොවන බවයි.

“ඒක ලොකු ආබාධයක් වුණේ නෑ. ඒ අවස්ථාවේ වේදනාවක් දැනුණත් පසුව වෛද්‍යවරු හා සම්භාහක පැමිණ ඒ පිළිබඳ සොයා බැලුවා. ඒක බරපතල එකක් නො‍වෙයි. මට ක්‍රීඩා කරන්න පුළුවන් වුණා රට වෙනුවෙන්. ඒ ගැන සතුටුයි“

“අන්තිම ඕවර් කිහිපයේදී විකට් වැටුණා. අපි කව්රුත් කඩුල්ල ගැන නොවෙයි අවසන් ඕවර් කිහිපයේදී හිතුවේ. අපිට උපරිම ලකුණු ගණනක් ගන්න අවශ්‍ය වුණා. වේගයෙන් ලකුණු ගන්න පුළුවන් පිතිකාරිණියන් හිටියා. හැමෝම බලන්නේ තමන්ගේ උපරිමය රටට දෙන්නයි. නමුත් දකුණු අප්‍රිකා පිල හොඳින් පන්දු යැව්වා. කඩුලු කිහිපයක් වැටුණා. වැස්සත් එක්ක තරගය අපට අවාසිදායක වුනා“ විශ්මි ගුණරත්න පැවැසුවාය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee