පුද්ගලයින් 12 දෙනෙකුට ජීවිත අහිමි කරමින් පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එහි තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් නැවතත් ශ්‍රී ලංකාව බලා ඒමට ඉල්ලීමක් කර ඇති බව කණ්ඩායම් කලමනාකාරීත්වය විසින් නොවැම්බර් මස 12 වැනිදා උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ. ආරක්ෂාව සම්බන්ධව මහත් කලබලකාරීත්වයකට පත්ව ඇති එම ක්‍රීඩකයින් පිරිස ආරක්ෂාව සම්බන්ධව ගැටළුකාරී තත්ත්වය හුවා දක්වමින් එම ඉල්ලීම සිදුකර තිබේ.
මෙම අර්බුදකාරී තත්ත්වයෙන් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් විසින් සංචාරයට සහභාගිව සිටින ක්‍රීඩකයින් සමග සම්බන්ධවී කණ්ඩායමේ සෑම සාමාජිකයකුගේම ආරක්ෂාව සහතික ක සඳහා පාකිස්තානු ක්‍රිකට් පාලක බලධාරීන් සමග සම්බන්ධීකරණය කොට එම ගැටලුසියල්ල නිරාකරණය කර දෙන බවට සහතික විය.
මෙම කටයුතු පවත්වාගෙන අතරතුර, නියමිත පරිදි තරග සංචාරය ඉදිරියට කරගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්, සහාය කාර්ය මණ්ඩලය සහ කණ්ඩායම් කලමනාකාරීත්වයට උපදෙස් දී ඇත.
කෙසේ වෙතත් සංචාරය බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දුන් නියෝගය නොතකා තරග සංචාරයට සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයකු හෝ සහායක කාර්යය මණ්ඩලයේ නැවතත් ආපසු තම රට වෙත පැමිණීමට තීරණය කළහොත්, ඒ සදහා වන ආදේශක ක්‍රීඩකයින් මෙන්ම සහාය කාර්යය සාමාජිකයින් වහාම ක්‍රියාත්මක වන පාකිස්තානයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා සංචාරක කණ්ඩායමේ ක්‍රීඩකයකු, හෝ සහායක කාර්යය මණ්ඩලයේ සාමාජිකයකු ආපසු ශ්‍රී ලංකාව වෙත පැමිණියහොත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ගේ එම ක්‍රියාවන් පිළිබඳව අධ්‍ය්‍යනයක් කොට ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබනු ඇත.
දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහනෙහි සංශෝධනයක් කිරීමට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. එක්දින තරගාවලියෙන් අනතුරුව පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේද තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදුකර තිබේ.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සමග සිදුකරන ලද සාකච්ඡාවලින් පසු එම කාලසටහනෙහි සංශෝධන සිදු කිරීමට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. සංශෝධිත කාලසටහනට අනුව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට දෙවැනි සහ තෙවැනි එක්දින තරග නොවැම්බර් මස 14 සහ 16 යන දිනවලදී රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන අතර තුන්කොන් තරගාවලියේ සියලුම තරගද රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට පියවර ගෙන තිබේ.
එළැඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම්වීමේ වේදිකාවක් ලෙසින් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මූලික කාලසටහන අනුව පළමු තරග කීපය රාවල්පිණ්ඩිහිදී ද අවසන් මහ තරගය ඇතුළු අවසන් කොටසේ තරග කීපයක් ලාහෝර්හිදී ද පැවැත්වීමට නියමිත විය. කෙසේ වෙතත් සංශෝධිත කාලසටහන අනුව නොවැම්බර් මස 18 වැනිදා ආරම්භ වන එම තුන්කොන් තරගාවලිය නොවැම්බර් මස 29 වැනිදා දක්වා රාවල්පිණ්ඩිහිදීම පැවැත්වෙනු ඇත.
එක්දින තරගාවලිය
නොවැම්බර් 14 – දෙවැනි එක්දින තරගය රාවල්පිණ්ඩිහිදී
නොවැම්බර් 16 – තෙවැනි එක්දින තරගය රාවල්පිණ්ඩිහිදී
තුන්කොන් විස්සයි-20 තරගාවලිය
නොවැම්බර් 18 – පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර රාවල්පිණ්ඩිහිදී
නොවැම්ර් 20 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර රාවල්පිණ්ඩිහිදී
නොවැම්බර් 22 – පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර රාවල්පිණ්ඩිහිදී
නොවැම්බර් 23 – පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර රාවල්පිණ්ඩිහිදී
නොවැම්බර් 25 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර රාවල්පිණ්ඩිහිදී
නොවැම්බර් 27 – පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර රාවල්පිණ්ඩිහිදී
නොවැම්බර් 29 – අවසන් මහ තරගය රාවල්පිණ්ඩිහිදී





