නැගී එන තරු අතර ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අත්දැකීම් සහිත හොඳම කණ්ඩායමක් බව නායක දුනිත් වෙල්ලාලගේ පැවැසීය. එබැවින් තම කණ්ඩායම ජයග්‍රාහී ගමන් මඟකට යොමු කිරීමේදී විශාල පහසුවක් ගොඩනැඟී ඇතැයි හෙතෙම පවසා සිටියේය. වෙල්ලාලගේ මේ බව පැවැසූවේ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති සර්ව ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම ප.ව. 3.00 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගියේය.
“කණ්ඩායම ගත්තොත් ඇත්තටම මට හරිම පහසුයි. මොකද කණ්ඩායමේ ගොඩක්ම හැම ක්‍රීඩකයෙක් වගේ ලොකු අත්දැකීමක් තියෙන අය. වැඩි දෙනෙක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ අය. මේ වගේ කණ්ඩායමක් ලැබුණ එක ගැන ගොඩක් සතුටු වෙනවා. මොකද මේ තරගාවලියට එන්නේ ආසියාවේ හොඳම කණ්ඩායම්. අපේ බැටින්, බෝලිං හා ෆීල්ඩින් අංශ තුනම හොඳින් කළොත් අපට ජයග්‍රහණය කරන්න පුළුවන්“ නායක දුනිත් වෙල්ලාලගේ පැවැසීය.
“කණ්ඩායමක් විදිහට දිගටම අපි හොඳ හොඳ පුහුණුවීම් වල නිරත වුණා. වර්ෂාවෙන් බාධා ආවත් අපි ඒවා මඟ හරවා ගෙන පුහුණුවීම් වල නියැළුණා. පුහුණුකරු අවිශ්ක ප්‍රනාන්දු ඇතුළු කළමනාකාරීත්වය හොඳ මඟ පෙන්වීමක් කරනවා. ඉතින් ඒක හින්දා ක්‍රීඩකයෝ සියලු දෙනා හොඳ මානසිකත්වයක ඉන්නේ. ඒ නිසා බලාපොරොත්තු වෙනවා හොඳ තරගාවලියක් ක්‍රීඩා කරලා රටට ගෞරවයක් ගේන්න“ වෙල්ලාලගේ අදහස විය.
ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල ඊළඟ පරම්පරාවට අත්දැකීම් ලබාදීම අරමුණු කොට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තරගාවලිය සංචිධානය කරනු ලබන අතර මෙය මෙවර පැවැත්වෙන්නේ 6 වැනි වතාවටය.
කණ්ඩායම් 8ක් සහභාගී වන තරගාවලිය මේ 14වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන ඇති අතර, ‘ඒ‘ කාණ්ඩයෙන් ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව හා හොංකොං තරග කරන අතර, ‘බී‘ කාණ්ඩයෙන් පාකිස්තානය, ඕමානය, ඉන්දියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩා කරති.
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල මේ 15 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟ මුල්ම තරගයට එක්වන අතර, 17 වැනිදා හොංකොං සමඟ හා 19 වැනිදා බංග්ලාදේශය සමඟ තරග බිමට පිවිසේ. මේ 21 වැනිදා අවසන් පූර්ව තරග පවැත්වෙන අතර, 23 වැනිදා අවසන් මහා තරගය පැවැත්වේ.
නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ සාමාජිකයෙක් වන වේග පන්දු යවන ප්‍රමෝද් මදුෂාන්, මේ වන විටත් ජාතික කණ්ඩායම සමග පාකිස්තානු තරග සංචාරයට සහභාගිව සිටින හෙයින් ඔහු හැර සෙසු ක්‍රීඩකයින් 14 දෙනාම අද කටාර් දේශය බලා පිටත්ව ගියේය. පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය අවසානයත් සමග මදුෂාන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සමග එකතුවීමට නියමිතය.
දෝහා කටාර් වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම මෙසේය: දුනිත් වෙල්ලාලගේ (නායක), විශේන් හැළඹගේ, නිශාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, අහන් වික්‍රමසිංහ, නුවනිදු ප්‍රනාන්දු, සොහාන් ද ලිවේරා, සහන් ආරච්චිගේ, රමේෂ් මෙන්ඩිස්, විජයකාන් වියෙස්කාන්ත්, ට්‍රෙවීන් මැතිව්, මිලාන් රත්නායක, ඉසිත විජේසුන්දර, ගරුක සංකේත්.





