slc
logo
Home   |    News
නොවැම්බර් 1, 2025
කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලාංකේය කතුන් දෙදෙනකු බැබලෙති

sinhala editor

ඉන්දියාවේ නවි මුම්බායි හි ඩීවයි පටිල් ක්‍රීඩාංගණයේ හෙට (2) පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන අවසන් අවසන් මහ තරගයේ තරග තීරකවරිය ලෙස ශ්‍රී ලංකාවේ මිෂෙල් පෙරෙයිරා හා සිව්වැනි විනිසුරුවරිය ලෙස නිමාලි ‍පෙරේරා යන මහත්මීහූ අයිසීසිය විසින් පත් කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයක තීරක ධූරය සඳහා ශ්‍රී ලාංකිකයකු තෝරාගනු ලැබ ඇත්තේ රන්ජන් මඩුගල්ලේ සහ වැනේසා ද සිල්වා යන දෙදෙනාට පසුව මෙයවීම විශේෂත්වයක් වේ.

අයිසීසී කාන්තා ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ මුල්වරට ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයකට පිවිසි ඓතිහාසික අවස්ථාව මෙයවන අතර, අත්දැකීම් බහුල ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු එහි තීරණ ගැනීමේ අවස්ථාවට එක්වීම ද තවත් ඓතිහාසික අවස්ථාවක් බවට පත්ව තිබේ.

නිමාවට පත්වූ සත්කාරක ඉන්දියාව සහ වත්මන් ශූර ඕස්ට්‍රේලියාව අතර දෙවන අවසන් පූර්ව තරග‍යේදී ද සඳහා මිෂෙල් පෙරෙයිරා හා නිමාලි ‍පෙරේරා යන මහත්මීහූ තරග තීරකවරිය හා සිව්වැනි විනිසුරුවරිය ලෙස සාර්ථකව සිය රාජකාරී ඉටු කිරීමට සමත් වූහ.

වසර 2022දී අන්තර්ජාතික තරග තීරකවරියන්ගේ නිල මඬුල්ලට ඇතුලත් වූ මිෂෙල් පෙරෙයිරා වසර තුනක් ඇතුළත ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයක තීරක ධූරයට උසස්වීමක් ලබා ගැනීම ශ්‍රී ලංකාවට මහත් අභිමානයකි. ඇය මිලාගිරිය සාන්ත පාවුළු බාළිකා විදුහලේ ආදි ශිෂ්‍යාවක වන අතර, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩා කළාය. 2005 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඈ ඇතුළත්ව සිටියාය.

ත්‍රිකුණාමලයෙන් පැමිණි 43 හැවිරිදි මිෂෙල් පෙරෙයිරා හිටපු කඩුලු රකින්නියක් වන අතර වමත් පිතිකාරිණියකි. ජාත්‍යන්තර තරග තීරකවරියක් ලෙස ඇය එක්දින තරග 14ක් විස්සයි20 තරග 37ක කටයුතු කළ අතර, විනිසුරුවරියක් ලෙසද විශාල තරග ගණනකදී දායකත්වය ලබාදී කීර්තිය දිනාගත් තැනැත්තියකි.

34 හැවිරිදි විනිසුරු නිමාලි පෙරේරා කලුතර ශුද්ධ වූ පවුලේ කණ්‍යාරාමයෙන් සිය පාසල් දිවිය හමාර කරමින් කෝල්ට්ස් සහ යුද හමුදා ක්‍රීඩා සමාජ නියෝජනය කළ අතර, ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුවාය. ජාත්‍යන්තර එක්දින තරග 22ක් විස්සයි20 තරග 58ක් හා පළමු පෙළ තරග 3කදී ඇය විනිසුරුවරියක් ලෙස කටයුතු කරමින් විශාල මෙහෙවරක නිරතව සිටින්නීය.

මෙම අවසන් මහ තරගයේ ප්‍රධාන විනිසුරුවරියන් ලෙසින් එලොයිස් ෂෙරිඩන් (ඕස්ට්‍රේලියාව) සහ ජැකලින් විලියම්ස් (බටහිර ඉන්දීය කොදෙව්) අයිසීසීය විසින් පත්කර තිබේ. තුන්වැනි විනිසුරුවරිය ලෙසින් සූ රෙඩ්ෆර්න් මහත්මිය කටයුතු කරනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee