ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ‘ටියර් බී‘ කොටසේ තෙදින ක්‍රිකට් තරගාවලිය මෙම නොවැම්බර් මස 26 වැනිදා ආරම්භ වේ. සමාරම්භක දිනයේ දී ලියෝ ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී තරග වදිනු ඇත.
කණ්ඩායම් 12කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ දී පළමු සතියේ පැවැත්වීමට නියමිත අනෙක් තරග 5 නොවැම්බර් මස 28 වැනිදා සිට 30 වැනිදා පැවැත්වෙනු ඇත.
මෙම තරගාවලියේ ඉකුත් වර ශුරයන් බවට පත් වුයේ බුද්ධික හසරංගගේ නායකත්වයෙන් යුතු ගාලු ක්‍රීඩා සමාජය වන අතර ඔවුන් පළමු සතියේ දී අසල්වැසි යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සමග තරග වදිනු ඇත. එම තරගය අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීම විශේෂත්වයක් වේ.
ඉකුත් වසරේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ද මේ තරගාවලියට සහභාගි වු අතර එම කණ්ඩායම මෙවර ද ඉදිරිපත්ව සිටී.
පළමු සතිය වන නොවැම්බර් මස 28 වැනිදා සිට 30 වැනිදා අතර කාලයේදී යුද හමුදා ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය, මොරටුව ක්‍රීඩා සමාජය සහ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රීඩා සමාජය සහ මැලේ ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජ තරග වදිති.
ලීග් ක්‍රමය යටතේ ශූරයින් තෝරනු ලබන මෙවර තරගාවලියද සති අන්ත දහයක් පුරා පැවැත්වෙනු ඇත.





