පාකිස්තාන ෂහීන්ස් හා බංග්ලාදේශ ‘ඒ‘ පිල එති
නැගීඑන තරු අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට පාකිස්තාන ෂහීන්ස් හා බංග්ලාදේශ ‘ඒ‘ පිල සමත් වූහ. එම අවසන් මහා තරගය මේ 22 වැනි ඉරිදා දෝහා කටාර්හි වෙස්ට් එන්ඩ් පාක් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.
දෝහා කටාර්හි වෙස්ට් එන්ඩ් පාක් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ අද පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දීය ‘ඒ‘ කණ්ඩායම සුපිරි ඕවරයේදී පරාජය කිරීමට බංග්ලාදේශ ‘ඒ‘ පිල සමත් වූ අතර, දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 5කින් පරාජය කිරීමට පාකිස්තාන ෂහීන්ස් පිල සමත් විය.
දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට පාකිස්තාන ෂහීන්ස් පිලට ආරාධනා කළ අතර, පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 9කට ලකුණු 153ක් රැස් කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ඕවර් 20කදී කඩුලු 9ක් දැවී ලකුණු 148ක් ලබා ගත්තේය.
අවසන් ඕවරයේ ශ්‍රී ලංකා පිලට ලකුණු 15ක් ලබාගත යුතුව තිබූ අතර, අනගි ඉනිමක් ක්‍රීඩා කළ මිලාන් රත්නායක කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට සමත්වීමෙන් බලාපොරොත්තු සුන්වී ගියේය. පාකිස්තාන ෂහීන්ස් පිලේ වේග පන්දු යවන උබේයිඩ් ෂා යොමු කළ යෝකර් පන්දුව ලෙග් ස්ටම්ප් එකෙන් ඉවතට යද්දී මිලාන්ගේ ඉදිරි පාදයේ ස්පර්ෂ වෙද්දී විනිසුරු එය දැවී යෑමක් ලෙස සටහන් කළද ක්‍රිකට් විචාරකයින් සඳහන් කළේ එය අවාසනාවන්ත තීරණයක් බවය.
ලකුණු 90කට කඩුලු 7ක් බිඳවැටී තිබියදී අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි මිලාන් රත්නායක පන්දු 32කදී හයේ පහරක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 40ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ලසිත් කෘස්පුල්ලේ හා විශේන් හැළඹගේ පළමු කඩුල්ලට ලකුණු 29ක් එක්කළ අතර, කෘස්පුල්ලේ ලකුණු 27කට දැවී ගියේය. හෙතෙම පන්දු 7කදී හයේ 3ක් හා හතරේ 2ක් සමඟ වේගවත් ඉනිමක් දියත් කළ අතර, හැළඹගේ පන්දු 27කදී හයේ 3ක් හා හතරේ 2ක් සමඟ ලකුණු 29ක් ලබා සිටියදී දැවී ගියේය. හැළඹගේ හා නුවනිඳු ප්‍රනාන්දු පන්දු 25කදී ලකුණු 29ක් තෙවැනි කඩුල්ලට එක් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ඉනිම කඩු වැටුණි.
ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ මැද පෙළ කඩුලු 5ක් ලකුණු 16ක් තුල දැවී යෑමෙන් කඩුලු 7කට ලකුණු 90ක් ලෙස විශාල පීඩනයක ලක්ව සිටියේය. මිලාන් රත්නායක හා අංක 9 පිතිකරු ප්‍රමෝද් මධුෂාන් එක්ව පන්දු 10කදී ලකුණු 9ක් 8 වැනි කඩුල්ලට එක් කළ අතර, ට්‍රෙවීන් මැතිව්ස් හා මිලාන් රත්නායක 8 වැනි කඩුල්ලට පන්දු 37කදී ලකුණු 47ක් එක්කරමින් ඉනිම ගොඩගැනීමට බලවත් වෙහෙසක නිරත වූහ.
පාකිස්තාන ෂහීන්ස් ඉනිමට ප්‍රබල තර්ජනයක් ගෙනදුන් ප්‍රමෝද් මධුෂාන් ලකුණු 29කට කඩුලු 4ක් හා ට්‍රෙවීන් මැතිව්ස් ලකුණු 22කට කඩුලු 3ක් බිඳ හෙලීමෙන් ඹවුන්ගේ ලකුණු වේගය අඩාල විය. එක් අන්තයකින් පන්දු යැවීම ආරම්භ කළ ට්‍රෙවීන් මැතිව්ස් ආරම්භක පිතිකරු මොහොමඩ් නයීම් ලකුණු 16ක් ලබා සිටියදී දවාගත් අතර, අනෙක් ආරම්භක පිතිකරු මාස් සදාකට් ලකුණු 23ක් ලබා සිටියදී වේග පන්දු යවන මිල්නා රත්නායකගේ ගොදුරක් බවට පත් විය.
අනතුරුව ට්‍රෙවීන් මැතිව්ස් හා ප්‍රමෝද් මධුෂාන් එක්ව ලකුණු 15ක් තුල පාකිස්තාන ෂහීන්ස් පිලේ කඩුලු 3ක් දවාගත් අතර, 6 වැනි කඩුල්ලට ගාසි ගෝරි හා සාඩ් මෂූඩ් එක්ව පන්දු 47කදී ලකුණු 47ක් එක් කිරීමට සමත්වීමෙන් පාකිස්තාන ෂහීන්ස් ලකුණු පුවරුව ඉහළට එසැවුණි.
තරගයේ වීරයා සම්මානය ලකුණු 22ක් හා කඩුලු 3ක් බිදහෙළූ සාඩ් මෂූඩ්ට හිමි වුණි.
පාකිස්තාන ෂහීන්ස් පිල කඩුලු 9කට ලකුණු 153 (20)
මොහොමඩ් නයීම් 16, මාස් සදාකට් 23, ගාසි ගෝරි නොදැවී 39, සාඩ් මෂූඩ් 22, අහමඩ් දනියාල් 22 ( ප්‍රමෝද් මධුෂාන් 29/4, ට්‍රෙවීන් මැතිව්ස් 22/3, මිල්නා රත්නායක 40/1, දුනිත් වෙල්ලාලගේ 19/1)
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුලු 9කට ලකුණු 148 (20)
ලසිත් කෘස්පුල්ලේ 27, විශේන් හැළඹගේ 29, නිශාන් මධුෂ්ක 6, නුවනිඳු ප්‍රනාන්දු 5, සහන් ආරච්චිගේ 5, මිලාන් රත්නායක 40, ප්‍රමෝද් මධුෂාන් 7, ට්‍රෙවීන් මැතිව්ස් නොදැවී 4, අතිරේක 22 (සුෆියාන් මකීම් 12/3, ෂාඩ් මෂූඩ් 18/3)





