slc
logo
Home   |    News
නොවැම්බර් 23, 2025
පාකිස්තානයට කඩුලු 7ක ජයක්

sinhala editor

පාකිස්තානයේ ක්‍රියතාමක තුන්කොන් විස්සයි20 තරගාවලියේ අද පැවැති 3 වැනි තරගයෙන් ශ්‍රී ලංකා පිලට එරෙහිව පාකිස්තානය පන්දු 27ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක ජයක් වාර්තා කළේය. රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල කඩුලු 7කට ලකුණු 128ක් ලබාගත් අතර, පාකිස්තානය ඕවර් 15.3කදී කඩුලු 3ක් දැවී ලකුණු 131ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

පාකිස්තාන ආරම්භක පිතිකරු සහිබ්සාඩා ෆර්හාන් පන්දු 45කදී හයේ පහර 5ක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 80ක් ලබා පාකිස්තාන ජයග්‍රහණයේ මාවත විවිර කළේය. සිය 6 වැනි විස්සයි20 අර්ධ ශතකයට වාර්තා කළ සහිබ්සාඩා ෆර්හාන් පළමු කඩුල්ලට සායිම් ආයුබ් සමඟ එක්ව පන්දු 30කදී ලකුණු 47ක් හා දෙවැනි කඩුල්ලට බාබර් අසාම් සමඟ එක්ව පන්දු 52කදී ලකුණු 69ක් එක්කරමින් පාකිස්තාන ලකුණු පුවරුව ශක්තිමත් කළේය.

සල්මන් ආගාගේ නායකත්වයෙන් යුත් සත්කාරක පාකිස්තානය සිම්බාබ්වේට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී සිය දෙවැනි ජය සනිටුවන් කළේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියලු දෙනාට ඕවරයකට ලකුණු 7කට වඩා වැඩි වේගයකින් පාකිස්තාන පිතිකරුවන් පන්දුවට පහරදුන් අතර, දුෂ්මන්ත චමීර පමණක් ඕවර් 3කදී ලකුණු 29කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 31දී දැවී ගිය අතර කමීල් මිෂාර පන්දු 12කදී ලකුණු 22ක් ලබා සිටියදී දැවී ගියේය. අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් පිටියට පිවිස පන්දු 5කට මුහුණදී දුවද්දී දැවී යෑමෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දුන් අතර, පැතුම් නිශ්ශංක තෙවැනි කඩුල්ලට ලකුණු 17ක් ලබා සිටියදී දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් ගෙන දුන් ජනිත් ලියනගේ පන්දු 38කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 41ක් ලබාගත් අතර,  කුසල් පෙරේරා සමඟ එක්ව සිව්වැනි කඩුල්ලට පන්දු 20කදී ලකුණු 18ක් එක් කිරීමට සමත් විය. ජනිත් හා වනිදු හසරංග එක්ව 7 වැනි කඩුල්ලට පන්දු 31කදී ලකුණු 35ක් එක්වූ අතර, මැද පෙළ කඩා වැටීමෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගැටලු සහගත තත්ත්වයකට පත් වුණි. කුසල් මෙන්ඩිස්, දසුන් ශානක හා කමිඳු මෙන්ඩිස් ලකුණු 8ක් තුල දැවී යෑමෙන් ලකුණු වේගය අඩාල වූවේය.

තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් ලකුණු 16කට බිදහෙළූ මොහොමඩ් නවාස්ට හිමි විය. මෙම තුන්කොන් තරගාවලි‍යේ මීළග තරගය හෙට (23) පාකිස්තානය හා සිම්බාබ්වේ අතර රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පිල කඩුලු 7කට ලකුණු 128 (20)

පැතුම් නිශ්ශංක 17, කමීල් මිෂාර 22, කුසල් පෙරේරා 25, ජනිත් ලියනගේ 41, වනිඳු හසරංග 11, අතිරේක 6 ( මොහොමඩ් නවාස් 16/3)

පාකිස්තාන පිල කඩුලු 3කට ලකුණු 131 (15.3)

සහිබ්සාඩා ෆර්හාන් නොදැවී 80, සායිම් ආයුබ් 20‍, බාබර් අසාම් 16, අතිරේක 10 (දුෂ්මන්ත චමීර 29/2, දසුන් ශානක 28/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee