slc
logo
Home   |    News
නොවැම්බර් 10, 2025
ශ්‍රී ලංකා 19න් පහළ බාලිකාවෝ තරගාවලියම 5 – 0කින් ජය ගනී

sinhala editor

 

 සංචාරක මලයාසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම අතර අද (10) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති පස්වන විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ද කඩුලු අටක පහසු ජයග්‍රහණයක් අත්කරගත් ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායම මේ තරගාවලියම ජයග්‍රාහී විලාශයකින් නිම කළේ තරග 5 -0ක් ලෙසට ජය ගනිමිනි.

 කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ අද (10) පැවැති පස්වන සහ අවසාන විස්සයි 20 තරගයේ දී මලයාසියා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු හතරකට රැස් කළ ලකුණු 82කට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායම පන්දුවාර 13.5ක දී කඩුලු 2කට ලකුණු 86ක් රැස් කරමින් කඩුලු අටකින් ජය ගත්තේ තවත් පන්දුවාර 6.1ක් ම ඉතිරිව තිබිය දී ය.

 මලයාසියානු කණ්ඩායම මේ තරගයේ දී කාසියේ වාසිය දිනා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.

 මලයාසියානු ආරම්භක පිතිකාරිණිය මහීරා ඉසාටි පන්දු 51කට මුහුණ දී හතරේ පහර තුනක් සමග ලකුණු 36ක් රැස් කරමින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය වුවාය.

 මීට අමතරව අංක පහ පිතිකාරිණිය තුන් ඉරියව් ක්‍රීඩිකාව නුර් ඩානියා පන්දු 23ක දී හතරේ පහර දෙකක් සමග නොදැවී ලකුණු 16ක් රැස් කළාය. සිව් වන කඩුල්ලට මහීරා ඉසාටි සමග නුර් ඩානියා පන්දු 37ක දී ලකුණු 34ක් රැස් කරමින් කණ්ඩායමේ හොඳම සබඳතාව වාර්තා කළහ.

 ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමේ පන්දු යවන්නියන් අතුරින් පළමු තරග හතරේ දී  ම කැපී පෙනුණු අසේනි තලගුණේ මේ තරගයේදීත් පන්දුවාර හතරක් යවා ලකුණු 13කට කඩුලු 2ක් දවාලුවාය.

 අසේනි මේ තරගාවලිය පුරාම කඩුලු 14ක් දවාලීමට සමත් වුවාය.

 ශ්‍රී ලංකා 19න් පහළ බාලිකාවන් පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ලකුණු අතර සිටින පිතිකාරිණිය වු විමෝක්ෂා බාලසූරිය මුළු ලකුණු අටේ දී (පන්දුවාර 1.3දී) නුර් ඩානියාගේ පන්දුවකට අයිනා මන්වීෂා දක්ෂ ලෙස උඩ පන්දුවක් රැක ගැනීමෙන් ලකුණු හතරකට දැවී ගියාය.

 පසුව අනෙක් ආරම්භක පිතිකාරිණිය සංජානා කාවින්දි සහ අංක තුන පිතිකාරිණිය නායිකාව මනුදි නානායක්කාර දෙවන කඩුල්ලට පන්දු 72ක දී ලකුණු 73ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය අසළටම ගෙන යාමට දක්ෂ පිතිකරණයක නියැළිණි.

 සංජානා කාවින්දිට සිය අර්ධ ශතකය රැස් කිරීමට ඇය මුහුණ දුන් අවසාන පන්දුවට හයේ පහරක් අවශ්‍ය වු අතර ඇය එයට උත්සාහ ගැනීමේ දී නුර් ඩානියාගේ පන්දුවකට හයේ සීමාව අසළ පන්දු රකිමින් සිටි මහීරා ඉසාටි උඩ පන්දුවක් රැක ගැනීමෙන් සංජානා දැවී ගියේ ලකුණු 45කට ය. (පන්දු 51යි හතරේ පහයි)

 ශ්‍රී ලංකා යොවුන් නායිකාව මනුදි නානායක්කාර නොදැවී ලකුණු 24ක් ලබා සිටියාය. (පන්දු 28යි හතරේ 2යි)

ලකුණු විස්තරය

 මලයාසියා ජාතික කාන්තා කණ්ඩායම පන්දුවාර 20ක දී සියල්ල දැවී 82යි – (මහීරා ඉසාටි 36, නුර් ඩානියා නොදැවී 16, අයිනා නර්වා 09, මාෂ් එලීෂා 09, අසේනි තලගුණේ 13/2, රශ්මිකා සෙව්වන්දි 11/1, මිතාලි අයෝධ්‍යා 13/1යි)

 ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායම කඩුලු 2ට 86යි – (සංජානා කාවින්දි 45, මනුදි නානායක්කාර නොදැවී 24, නුර් ඩානියා 25/2යි)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar