slc
logo
Home   |    News
දෙසැම්බර් 27, 2025
අදීෂ නානායක්කාර නොදැවී ලකුණු 227

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (27) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වු කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේ දී යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ අදීෂ නානායක්කාර නොදැවී ලකුණු 227ක් රැස් කරමින් නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වීම ප්‍රථම දිනයේ විශේෂම සිදුවීම විය.

 යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අදීෂ නානායක්කාර නොදැවී වේගවත් ලකුණු 227ක් රැස් කළේ පන්දු 238කට මුහුණ දී හතරේ පහර විස්සක් සහ හයේ පහර නවයක් සමගය. දිනය නිම වන විට යුනයිටඩ් සදර්න් කණ්ඩායම ප්‍රබලම තත්ත්වයක පසු වුයේ කඩුලු හයකට ලකුණු 386ක් රැස් කරමිනි.

 මීට අමතරව ගාල්ල ක්‍රිකට් සමාජයේ ලිසුල ලක්ෂාන් වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී නාවික හමුදාව සමග තරගයේ දී පන්දු 172කට මුහුණ දෙමින් හතරේ පහර දහයක් ද සමග නොදැවී ලකුණු 101ක් රැස් කළේය. මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැති මොරටුව ක්‍රීඩා සමාජය සහ කොළඹ මැලේ ක්‍රිකට් කණ්ඩායම අතර තරගයේ දී මොරටුව ක්‍රීඩා සමාජයේ ගැවින් බොතේජුට අවාසනාවන්ත අයුරින් ශතකය අහිමිව ගියේ ශතකයට ලකුණක් අඩුවෙන් දැවී යාමෙනි. ගැවින් බොතේජු පන්දු 170කට මුහුණ දී හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 99කි.

 පන්දු යවන්නන් දෙදෙනෙකු ද මෙදින පිළිවෙළින් කඩුලු හයක් සහ පහක් දවාලීමට සමත් විණි. යුද හමුදා ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ දී ලියෝ ක්‍රිකට් සමාජයේ මංගල ප්‍රදීප් නැවත වතාවක් දක්ෂ පන්දු යැවීමක නිරතවෙමින් ලකුණු 47කට කඩුලු හයක් දවාලීමෙන් යුද හමුදා පළමු ඉනිම ලකුණු 172කට සීමා විණි. ප්‍රථම දින තරගය නිම වන විට ලියෝ ක්‍රිකට් කණ්ඩායම කඩුලු නවයක් දැවී ලකුණු 183ක් රැස් කර පළමු ඉනිමේ දී ලකුණු 11ක් ඉදිරියෙන් පසු විය. යුද හමුදාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වු සෙහද සොයිසා ලකුණු 21කට ලියෝ පිතිකරුවන් සිව්දෙනෙකුම දවාලීය.

 බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයේ දී රාගම ක්‍රිකට් සමාජයේ කසුන් කරුණාතිලක ලකුණු 65කට කඩුලු පහක් ද එම කණ්ඩායමේ උපුල් ඉන්ද්‍රසිරි ලකුණු 33කට කඩුලු හතරක් ද දවාලීමෙන් සෙබස්ටියනයිට්ස් කණ්ඩායමට පළමු ඉනිමේ ලබා ගත හැකි වුයේ ලකුණු 148ක් පමණකි. දිනය නිම වන විට රාගම ක්‍රිකට් සමාජය කඩුලු හයකට ලකුණු 151ක් රැස් කර සිටියේය.

 එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එස්.එස්.සී. කණ්ඩායම වරක් ලකුණු 141කට කඩුලු හතක් දැවී අසීරු තත්ත්වයක පසු විණි. ලක්ෂිත මනසිංහ ලකුණු 54ක් සහ ප්‍රමෝද් මධුෂාන් ලකුණු 50ක් රැස් කර අටවන කඩුල්ලට ලකුණු 109ක සබඳතාවයක් තබා ගැනීමෙන් කණ්ඩායම නැවත ප්‍රබල තත්ත්වයකට පත් විණි. එස්.එස්.සී. ප්‍රථම ඉනිමේ රැස් කළ ලකුණු 267ට පිළිතුරු ලෙස දිනය නිම වන විට මීගමුව ක්‍රිකට් සමාජය කඩුලු දෙකක් දැවී ලබා සිටියේ ලකුණු නවයක් පමණකි.

 යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී පළමුව පන්දුවට පහර දෙන යුනයිටඩ් සදර්න් කණ්ඩායම වෙනුවෙන් නොදැවී ද්විත්ව ශතකයක් රැස් කළ ආරම්භක පිතිකරු අදීෂ නානායක්කාර සහ අංක  හතර පිතිකරු ආදිත්‍ය සිරිවර්ධන තෙවන කඩුල්ලට ලකුණු 156ක සබඳතාවයක් ද සිව් වන කඩුල්ලට අදීෂ සමග අංක පහ පිතිකරු කවිඳු එදිරිවීර ලකුණු 145ක සබඳතාවයක් ද රැස් කළහ. මෙහිදී ආදිත්‍ය ලකුණු 61ක් ද කවිඳු ලකුණු 42ක් ද ලැබීය.

 ලකුණු සාරංශය

  • මොරටුව ක්‍රීඩා සමාජය  – කොළඹ මැලේ ක්‍රිකට් සමාජය – මොරටුව ද සොයිසා පිටියේ දී

 මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට පන්දුවාර 90ක දී කඩුලු 6ක් දැවී ලකුණු 258 – ගැවින් බොතේජු 99, දුනිත් ලෝචන නොදැවී 55, ඉමේෂ් උදයංග නොදැවී 23, පුබුදු බණ්ඩාර 22, චානක රුවන්සිරි 19, අනුෂ්ක පෙරේරා 13, චානක දේවින්ද 107/4

  • යුද හමුදා ක්‍රීඩා සමාජය – ලියෝ ක්‍රිකට් සමාජය – කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී

යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 36.1ක දී සියල්ල දැවී ලකුණු 172 – මනුෂ්ක සමිත් 40, සෙහද සොයිසා 28, ක්‍රිෂේන් අපෝන්සු 23, සීක්කුගේ ප්‍රසන්න 22, ජනිත් ද සිල්වා 17, මහීෂ් තීක්ෂණ 13, මංගල ප්‍රදීප් 47/6, මල්ෂාන් ගුණසිංහ 45/2, ෂෙනාෂ් ප්‍රනාන්දු 55/2

ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට පන්දුවාර 55ක දී කඩුලු 9ක් දැවී ලකුණු 183 – අකීල් ඉන්හම් 86, ෂෙනාෂ් ප්‍රනාන්දු නොදැවී 19, මංගල ප්‍රදීප්  18, අෂාන් ප්‍රනාන්දු 16, සෙහද සොයිසා 21/4, මල්ක මධුශංක 72/3

  • යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය – කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට පන්දුවාර 90ක දී කඩුලු 6ක් දැවී ලකුණු 386 – අදීෂ නානායක්කාර නොදැවී 227, ආදිත්‍ය සිරිවර්ධන 61, කවිඳු එදිරිවීර 42, පැතුම් බොතෝජු 12, යශෝධ මෙන්ඩිස් 63/2, අවිඳු තීක්ෂණ 41/2

  • එස්.එස්.සී. ක්‍රීඩා සමාජය – මීගමුව ක්‍රිකට් සමාජය – එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 80.1ක දී සියල්ල දැවී ලකුණු 267 – නිපුන් ධනංජය 70, ලක්ෂිත මනසිංහ 54, ප්‍රමෝද් මධුෂාන් 50, කවිඳු නදීෂාන් 19, නිවනිඳු ප්‍රනාන්දු 18, ක්‍රිෂාන් සංජුල 16, ප්‍රභාත් ජයසූරිය 16, අමිත සංදීප පෙරේරා 79/3, ශෙෂාන් ප්‍රනාන්දු 23/2, හංසජ හිරුණ 51/2, ධනුෂ්ක සඳරුවන් 57/2

මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට පන්දුවාර 7ක දී කඩුලු 2ක් දැවී ලකුණු 9 – චරිත් අසලංක 2/1,  ප්‍රභාත් ජයසූරිය 6/1

  • සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය – රාගම ක්‍රිකට් සමාජය – බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 52ක දී සියල්ල දැවී ලකුණු 148 – නවිඳු නිර්මාල් 31, මනෙල්ක ද සිල්වා 22, මාලිංග මලිගස්පේ 20, රුසිරු විලෝචන 18, චරිත් රාජපක්ෂ 13, කසුන් කරුණාතිලක 65/5, උපුල් ඉන්ද්‍රසිරි 33/4

රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට පන්දුවාර 38ක දී කඩුලු 4ක් දැවී ලකුණු 151 – රන්මිත් ජයසේන නොදැවී 47, සමීන් කඳනආරච්චි 32, සහිල් ඩයස් 28, රවිඳු සෙම්බුකුට්ටි නොදැවී 18, මෙදුනක විජයතිලක 29/2, මලිත හපුආරච්චි 50/2

  • ගාල්ල ක්‍රිකට් සමාජය – නාවික හමුදා ක්‍රීඩා සමාජය – වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී

 ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට පන්දුවාර 89.1ක දී කඩුලු 9ක් දැවී ලකුණු 313 – ලිසුල ලක්ෂාන් නොදැවී 101, රජිත් ප්‍රියාන් 50, සුපුන් කවිඳ 48, අමිත් එරන්ද 46, සුභානු කවීෂ රාජපක්ෂ 28, රජීව වීරසිංහ 21, ඉෂාන් අබේසේකර 74/4, පූර්ණ චාරුක 41/2

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee