slc
logo
Home   |    News
දෙසැම්බර් 28, 2025
ඉහළ ලකුණු වාර්තාවූ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තාවෝ සටනක් දී පරදිති

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය යටතේ විශාකාපට්නම්හිදී අද (28 දා) පැවැති සිව්වැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී දෙපිළම සිය අන්තර්ජාතික විස්සයි-20 තරග වලදී ඉහළම ලකුණු සංඛ්‍යාවන් වාර්තා කිරීමට සමත්වූහ. එහෙත් සංචාරක පිලට වඩා තරමක් ඉදිරියෙන් සිටි ඉන්දීය ක්‍රීඩිකාවෝ ලකුණු 30 ක ජයක් සමඟින් තරගාවලියේ පරතරය 4-0 ක් වශයෙන් තව දුරටත් පුළුල් කර ගැනීමට අද දිනයේදී සමත්වූහ.

පළමු තරග 3ම අඩු ලකුණු සංඛ්‍යාවන් වාර්තා වද්දී විශාකාපට්නම්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 2 ක් දැවී ලකුණු 221 ක දැවැන්ත අභියෝගයක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හමුවේ තැබූහ. මෙය විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී ඉන්දීය කාන්තා කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. එම ඉලක්කය හඹා යෑමේදී පහසුවකට නොගත් ශ්‍රී ලංකා පිතිකාරිනියෝ ඉන්දීය නායිකාවගේ නලලත රැළිගන්වන අන්දමේ හඹා යෑමයක නිරත වූ නමුත්, අත්දැකීම් අඩු භාවය හේතුවෙන් අවසානයේ සත්කාරකයින් හමුවේ ලකුණු 30 ක පරාජයක් අත්වින්දහ.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ස්මිත්‍රී මන්දනා සහ ෂෆාලි වර්මා අර්ධ ශතක වාර්තා කර ගනිමින් ඉනිම ශක්තිමත් කරද්දී, ශ්‍රී ලංකාව වෙනුවෙන් යළිත් ලකුණු අතර පිවිසි චමරි අතපත්තු සටන්කාමී ලකුණු 52 ක් වාර්තා කර ගනිමින් ශ්‍රී ලංකාවට හඹා යෑම සඳහා සාර්ථක අඩිතාලමක් එක් කර දුන්හ.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වාර්තා ගත සම්බන්ධතාවත් පැවැත්වූ ෂෆාලි වර්මා සහ ස්මිත්‍රී මන්දනා පන්දු 92 කින් ලකුණු 162 ක් එක් කළහ. මෙය ඉන්දීය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ඔවුන් දෙදෙනා විසින්ම මීට පෙර තබා තිබූ  ලකුණු 143 ක සම්බන්ධතාවයේ වාර්තාව බිඳ හෙළන ලද්දක් විය.

අද දිනයේදී ෂෆාල්වාර්තා කරන ලද්දේ ඇය විසින් මෙම තරගාවලියේදී පිට පිටම වාර්තා කරන ලද තෙවැනි අර්ධ ශතකය විය. පළමු තරග 3 දී ලකුණු 40 ක් පමණක් වාර්තා කර ගත් මන්දනා අද දිනයේදී රැස් කරන ලද ලකුණු  80 ක ඉනිමත් සමග ඇයට මෙම වසරේ විස්සයි-20 ජාත්‍යන්තර තරග වල රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 1703 ක් දක්වා ඉහළ දමා ගැනීමට හැකියාව ලැබිණ. මෙය මෙවර කැලැන්ඩර් වසර තුළ පිතිකාරිණියක් රැස් කරන ලද ඉහළම ලුකණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් වේ.

පන්දු 48 කට මුහුණ දුන් මන්දනා හයේ පහර 3 ක් සහ හතරේ පහර 11ක් සමගින්ලකුණු 80 ක් රැස් කර ගත්තාය. මෙම හයේ පහර 3 ත් සමග මන්දනාගේ විස්සයි-20 තරග දිවියේ මෙතෙක් එල්ල කරන ලද හයේ පහර සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගිය අතර එය ඉන්දීය කාන්තා පිල වෙනුවෙන් පිතිකාරිනියක් වාර්තා කරන ලද වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසින්ද සනිටුහන් විය. ඇයට අමතර අනගි පිතිහරඹයක යෙදුණු වර්මා ලබා ගත් ලකුණු 79 සඳහා පන්දු 46 කට මුහුණ දුන්නේ ඉන් එක් වතාවක් හතරේ සීමාවට ඉහළින්ද 12 වතාවක් හතරේ සීමාවටද පන්දුව යැවීමට සලස්වමිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ඇරැඹි චමරි අතපත්තු සහ හසිනි පෙරේරා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක් රැස් කළේ පන්දු 33 ක් පමණක් වැය කරමිනි. මෙහිදී හසිනි පන්දු 20 කදී ලකුණු 33 ක් ලබා පිටියෙන් ඉවත්වූවාය. ඇයගේ ඉවත්වීමෙන් නොනැවතුණු චමරරි ඉමේෂා දුලානි සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් නැවත්ත සාර්ථක වෙමින් ලකුණු 57 ක් රැස් කළේ ඉන්දීය කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය පිළිබඳව වූ විශ්වාස මඳකට තැති ගැන්වීමකට ලක් කරමිනි. එහෙත් චමරි ලකුණු 52 ක් ලබා සිටියදී චමරි දැවී යෑම ඉන්දීය කණ්ඩායමට මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නේය. දැවී යන විටත් චමරි මුහුණ දී සිටියේ පන්දු 37 කට පමණ්ක වන අතර ඊට හතරේ පහර 3 ක් සහ හයේ පහර 3 ක් ද ඇතුළත් කර තිබුණි.

කෙසේ නමුත් චමරිගේ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා ලකුණු ලබා ගැනීමට පැහැදිළි බලපෑමක් එල්ල වනු දැක ගැනීමට හැකි වූ නමුත් එය තරමකින් හෝ සමනය කරන ලද්දේ මැද පෙළින් පැමිණි නිලක්ෂිකා ද සිල්වා පන්දු 11 කදී නොදැවී රැස් කර ලද ලකුණු 23ත් සමගිනි. අවසානයේ නියමිත පන්දුවාර 20 අවසන විට ශ්‍රී ලංකා පිලට රැස් කරගත හැකි වූයේ කඩුලු 6 ක් දැවී ලකුණු 191 ක් පමනි.  

ඉන්දියානු කාන්තා කණ්ඩාම පන්දුවාර 20 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 221 යි – (ස්මිත්‍රී මන්දනා 80, ෂෆාලි වර්මා 79, රීෂා ඝෝස් 40*, හර්මන්ප්‍රීට් කෞර් 16*, මල්ෂා ෂෙහානි 32/1, නිමාෂා මීපගේ 40/1)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 191 යි – (හසිනි පෙරේරා 33, චමරි අතපත්තු 52, ඉමේෂා දුලානි 29, හර්ෂිතා සමරවික්‍රම 20, කවීෂා දිල්හාරි 13, නිලක්ෂිකා ද සිල්වා 23*, රෂ්මිකා සෙව්වන්දි 05, කෞෂානි නුත්‍යාංගනා 05*, අරුන්දති රෙඩී 42/2, විශ්නවී ෂර්මා 24/2, ශ්‍රී චරණි 46/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee