slc
logo
Home   |    News
දෙසැම්බර් 31, 2025
පස්වැනි තරගයත් ඉන්දීය කාන්තාවෝ ජය ගනිති

sinhala editor

තිරුවානන්තපුරම්හි පැවැති පස්වැනි සහ අවසාන විස්සයි-20 තරගයෙන්ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හමුවේ ලකුණු 15 ක ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 5-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කළහ.

තරගාවලිය යම්තාක් දුරකට ගෞරවනීයව අවසන් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව බවට පත්වූ මෙම පස්වැනි විස්සයි-20 තරගයේදී හසිනි පෙරේරා සහ ඉමේෂා දුලානි අර්ධ ශතක වාර්තා කළද එය ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවිය.

ඉන්දීය නායිකා හර්මන්ප්‍රිට් කෞර් හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් පන්දු 43 කදී රැස් කරන ලද ලකුණු 68 ක ඉනිම ප්‍රධාන කොට පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 175 ක් වාර්තා කිරීමට සමත්වූවේය. එය හඹා යෑමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 160 ක් පමණි.

මෙම පූර්ණ තරගාවලි ජය ඉන්දීය කාන්තා විස්සයි-20 තරග ඉතිහාසයේ තරග 5 කින් සමන්විත තරගාවලියක පූර්ණ තරග ජයග්‍රහණ වාර්තා කළ තෙවැන්න ලෙසින් සනිටුහන් විය. මීට පෙර ඔවුන් 2024 දී බංග්ලාදේශයට එරෙහිව සහ 2019 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට පරාජයට පත් කර තිබේ. එමෙන්ම තරග 5 බැගින් සමන්විත විස්සයිි-20 තරගාවලි ත්‍රිත්වයක පූර්ණ තරගාවලි ජය ලබා සිටින එකම රට බවට පත්ව සිටි එංගලන්ත කාන්තා කණ්ඩායම සමගින් සමතැන් ගැනීමටද ඉන්දීය කාන්තා පිලට මෙම තරගාවලි ජයත් සමග හැකියාව ලැබිණ.

තරග අතරතුර සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩිකා දීප්ති ෂර්මා, විස්සයි-20 තරග වල මෙතෙක් වැඩිම කඩුලු ලාභිය බවට පත්ව සිටි ඔස්ට්‍රේලියාවේ මේඝන් ෂූට් අභිබවා යෑමට සමත්වීමය. නිලක්ෂිකා ද සිල්වාගේ කඩුල්ල දවා ගත්  ඇය මේ වන විට කඩුලු 152 ක් ලබා සිටින්නීය.

සිව්වැනි තරගයේදී පවර් ප්ලේ පන්දුවාර 6 දී ලකුණු 61 ක් ලබා ගත් ඉන්දීය පිතිකාරිණියන්ට අද දිනයේදී එතරම් ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අවස්ථාව ලබා නොදුන්හ. මෙම තරගාවලියේ පිට පිටම අර්ධ ශතක 3ක් ලබා ගත් එකම පිතිකාරිණිය වූ ආරම්භක පිතිකාරිණී ශෆලි වර්මාව පිට පිටම දෙවැනි වතාවටත් දවා ගැනීමට මීපගේ සමත් වද්දී අනෙක් ආරම්භක පිතිකාරිණිය වූ ගුනලන් කමලිනීව දවා ගැනීමට කවීෂා දිල්හාරි සමත්වූවාය. මොවුන් දෙදෙනා පිටියෙන් ඉවත් වන විට ඉන්දීය ලකුණු සංඛ්‍යාව කියැවුණේ පන්දුවාර 4.1 කදී ලකුණු 27 කට කඩුලු 2 ක් වශයෙනි.

ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා පිලේ පළමු කඩුල්ල ලෙස චමරි අතපත්තු දෙවැනි පන්දුවාරයේම දැවී ගියාය. එහෙත් හසිනි පෙරේරාට එක් වූ ඉමේෂා දුලානි දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 79 ක සම්බන්ධතාවත් පවත්වමින් ජයග්‍රහණය සඳහා සාර්ථක අඩිතාලමක් එක් කර දුන්හ.

අංක 3 ස්ථානයෙන් පන්දුවට  පහර දීමට පැමිණි ඉමේෂා දුලානි විශ්වාසදායක ඉන්මක් ක්‍රීඩා කරමින් සිය මංගල අර්ධ ශතකයට හිමිකම් කීවාය. පන්දු 39 කට මුහුණ දුන් ඇය ඊට හතරේ පහර 8 ක් එල්ල කළාය. ඇයට අනගි සහායක් ලබා දුන් හසිනි පෙරේරාද පන්දු 42 කට මුහුණ දෙමින් ලකුණු 65ක් ලබා ගත්තාය. මෙය ඇයගේ තරග 89 ක විස්සයිි-20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ පළවැනි අර්ධ ශතකය ලෙසින් සනිටුහන් විය. පිණි සහිත තත්ත්වය මැනවින් ප්‍රෙයා්ජනයට ගත් අමන්ජොට් ඉමේෂා දුලානිගේ කඩුල්ල දවා ගනිමින් තරගයේ වාසිය ඉන්දීය කණ්ඩායම වෙත හරවා දුන්නාය.

ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු 20 දී ලකුණු 44 ක් අවශ්‍ය වූ අතර එහිදී ප්‍රභල සටනක නිරත වූ ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් පන්දුවාර තුනේදී හසිනි පෙරේරා සහ හර්ෂිතා සමරවික්‍රමගේ කඩුලු 2 ද සහිතව කෞෂානි නුත්‍යාංගනාව දවා ගත් ඉන්දීය පන්දු යවන්නියෝ පස්වැනි තරග ජයග්‍රහණයට ඉන්දීය පිලට මං පෙත් විවර කර දුන්හ.

ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 175 යි – (හර්මන්ප්‍රීට් කෞර් 68, හර්ලීන් ඩියෝල් 13, ගුලානම් කමිලිනී 12, අමන්ජෝට් කෞර් 21, අරුන්ධති රෙඩී 27*, කවීෂා දිල්හාරි 11/2 රශ්මිකා සෙව්වන්දි 42/2, චමරි අතපත්තු 21/2)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 160 යි – (හසිනි පෛර්රා 65, ඉමේෂා දුලානි 50, රශ්මිකා සෙව්වන්දි 14*, දීප්ති ෂර්මා 28/1, අරුන්ධති රෙඩී 16/1, ස්නේ රානා 31/1, විශ්වනී ෂර්මා 33/1, ශ්‍රී චරනි 31/1, අමන්ජෝට් කෞර් 17/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee