slc
logo
Home   |    News
දෙසැම්බර් 24, 2025
ශෆාලිගේ වේගවත් අර්ධ ශතකයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්

sinhala editor

කාන්තා ලෝක කුසලානය දිනාගත් අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය සුරතට ‍ගෙන විශාල ආකර්ශනයක් දිනූ ශෆාලි වර්මා පන්දු 34කදී හයේ පහරක් හා හත‍රේ පහර 11ක් සමඟ නෙදැවී රුස්කළ වේගවත් ලකුණු 69 හේතුවෙන් ඉන්දීය කාන්තාවෝ දෙවැනි විස්සයි20 තරගය පන්දු 49ක් ඉතිරිව තිබියදී කඩුලු 7කින් දිනා ගැනීමට සමත් වූහ. ‍මේ අනුව තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියේදී ඉන්දීය කාන්තාවෝ තරග 2-0ක් ලෙස ඉදිරියට පැමිණියහ.

විශාකාපට්නම් වයි. එස්. රාජසේකර ‍රෙඩ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණ‍යේ විදුලි ආලෝක ධාරා මැද අද (23) පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර් 20කදී කඩුලු 9ක් දැවී ලබාගත් ලකුණු 128ට පිළිතුරු ලෙස ඉන්දීය කාන්තාවෝ ඕවර් 11.5කදී කඩුලු 3ක් දැවී ලකුණු 129ක් ලබා ජය තහවුරු කර ගත්හ.

ඉන්දීය පිලේ පළමු කඩුල්ල ලෙස ස්මිත්‍රී මන්දනා ලකුණු 14ක් ලබා සිටියදී කවීෂා දිල්හාරී දවා ගැනීමට සමත් වුවද, අනෙක් ආරම්භක පිතිකාරිණිය වූ ශෆාලි වර්මා හා ජෙමීමා රොඩ්‍රිගස් එක්ව පන්දු 28කදී ලකුණු 58ක් එක් කිරීමෙන් ඉන්දීය ඉනිමට වේගවත් බවක් එක් වූවේය. පළමු තරගයේදී අර්ධ ශතකයක් රැස්කළ ජෙමීමා රොඩ්‍රිගස් ලකුණු 26කදී දවා ගැනීමට කාව්‍යා කාවින්දි සමත් වූ අතර, ශෆාලි වර්මා හා නායිකා හර්මන්ප්‍රීට් කෞර් තෙවැනි කඩුල්ලට පන්දු 24කදී ලකුණු 41ක සබඳතාවක් එක්කළ අතර, ලකුණු සමව තිබියදී මල්කි මදාරාගේ පන්දුවකට නායිකාව ලකුණු 10කට අවසන් මොහොතේ දැවී ගියාය. රිචා ගොෂ් පැමිණ ජයග්‍රාහී ලකුණ ලබා තරගය නිමාවට පත් කළාය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කාන්තා පිල මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර, ලකුණු පුවරුව 2ක් වෙද්දී ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න ලකුණු 1කට දැවී ගියාය. දෙවැනි කඩුල්ලට චමරි අතපත්තු හා හසිනි පෙරේරා අතර, පන්දු 27කදී ලකුණු 36ක සබඳතාවක් ගොඩනැගී තිබියදී අතපත්තු දකුණත් පිට දඟ පන්දු යවන ස්නේහෙ රානා එවූ පන්දුවකට නායිකා හර්මන්ප්‍රීට් කෞර් අතට උඩ පන්දුවක්දී ලකුණු 31කට දැවී ගියාය.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ හොඳම සබඳතාව හසිනි පෙරේරා හා හර්ෂිතා සමරවික්‍රම අතර ගොඩනැගුන අතර, දෙදෙනා පන්දු 44කදී ලකුණු 44ක් වාර්තා කළහ. පන්දු 22කදී ලකුණු 16ක් ලබාගත් හසිනි ‍පෙරේරා ඉණ උසට ඉහළින් නැගී එන පන්දුවට පහරක් එල්ල කිරීමේදී ශ්‍රී චාරණි එවූ පන්දුවකට ඇය අතටම උඩ පන්දුවක්දී දැවී ගියාය.

සිව්වැනි කඩුල්ලට හර්ෂිතා සමරවික්‍රම හා කවීෂා දිල්හාරි අතර පන්දු 21කදී ලකුණු 22ක් එක්වූ අතර, හර්ෂිතා පන්දු 10කදී ලකුණු 11ක් ලබා දැවී ගියාය. එවිට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 4කට ලකුණු 104ක් වූ අතර, අනෙක් කඩුලු 5 ලකුණු 24ක් තුලදී දැවී ගියහ. දඟ පන්දුවට වාසි සහගත වූ විශාකාපට්නම් තණතිල්ලේ පන්දු යැවීමෙන් වායිස්නාවි ෂර්මා හා ශ්‍රී චාරණි කඩුලු 2 බැගින් බිඳහෙලා ගත්හ.

‍දෙරට අතර තෙවැනි විස්සයි20 තරගය මේ 26 වැනිදා තිරුවානන්තපුරම් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 9ක් දැවී ලකුණු 128 යි
විශ්මි ගුණරත්න 1, චමරි අතපත්තු 31, හසිනි පෙරේරා 22, හර්ෂිතා සමරවික්‍රම 33, කවීෂා දිල්හාරි 14, නිලක්ෂිකා ද සිල්වා 2, කෞෂානි නුත්‍යාංගනා 11, ෂශිනි ගිම්හානි 0, කාව්‍යා කාවින්දි 1, මල්කි මදාරා නොදැවී 1, අතිරේක 12 (ක්‍රාන්ති ගෞඩ් 21/1, ස්නේහෙ රානා 11/1, වායිස්නාවි ෂර්මා 32/2, ශ්‍රී චාරණි 23/2)

ඉන්දියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 11.5කදී කඩුලු 3ක් දැවි ලකුණු 129 යි
ස්මිත්‍රී මන්දනා 14, ශෆාලි වර්මා නොදැවී 69, ජෙමීමා රොඩ්‍රිගස් 26, හර්මන්ප්‍රීට් කෞර් 10, රිචා ගොෂ් නොදැවී 1, අතිරේක 9 (මල්කි මදාරා 22/1, කාව්‍යා කාවින්දි 32/1, කවීෂා දිල්හාරි 15/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee