ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අද (09 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය.
ප.ව. 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ මෙම තරගය ප.ව. 8.30 දක්වා ආරම්භ කිරීම වෙනුවෙන් ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය සැදී පැහැදී සිටි නමුත් ප.ව. 8.35 ට පමණ ඇද හැළුණු වර්ෂාවත් සමඟම තරගය අත්හැර දැමීමට තරගතීරකවරයා වූ රංජන් මඩුගල්ලේ සහ එම තරග විනිසුරුවෝ තීරණය කළහ.
අන්තර්ජාතික විස්සයි-20 කදී අවම වශයෙන් පන්දුවාර 5 ක තරගයක් ලෙසින් පැවැත්විය යුතු වන අතර එසේ නම් තරගය රාත්‍රි 10.15 ට ආරම්භ කළ යුතුවිය. එහෙත් එම වේලාවට ක්‍රීඩාංගණය පිළිසකර කර ගැනීමට නම් රාත්‍රී 9.15 වන විටවත් ක්‍රීඩාංගණයේ වැසි ආවරණ ඉවත් කිරීමේ කටයුතු අවසන් කළ යුතුව තිබිණ. එහෙත් රාත්‍රී 9 වන තෙක්ම සිහින් වැසි සහිත තත්ත්වයක් ක්‍රීඩාංගණය අවට පතිතවීම නිසා තරගය අතහැර දැමීමට තරග බලධාරීහු පියවර ගත්හ.
තරගාවලියේ පළමු තරගය ජයගෙන සිටින පාකිස්තානු කණ්ඩායම තරගාවලිය 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටි. තරග 3 කින් සමන්විත දෙරට අතර තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ජනවාරි මස 11 වැනිදා රංගිරි දඹුළු ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව තිබේ. තරගයක් ජයගෙන සිටින පාකිස්තානුවෝ මෙම තරගාවලිය අපරාජිත තත්ත්වයකට පැමිණ සිටින නමුත්, සමව අවසන් කර ගැනීමට නම් තෙවැනි තරගය ශ්‍රී ලංකා පිල අනිවාර්යයෙන්ම ජය ගත යුතුය.






