පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර තවත් ජාත්‍යන්තර තරග 6 ක් ක්‍රීඩා කිරීමේ වැදගත් අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබෙන අතර, එහි පළමු පියවර ලෙස පාකිස්තානු කණ්ඩායමට එරෙහි තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය හෙට (07) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලියට පිවිසෙන්නේ මෙතෙක් තමන් අතින් සිදුවූ සුළු සුළු අඩුපාඩු නිවැරදි කරගැනීමේ පැහැදිලි අරමුණක් සමඟ බව ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක අවධාරණය කරයි. ඒ අතරින් වඩාත් අවධානය යොමු වී ඇත්තේ 6 වැනි පන්දුවාරයත් 15 වැනි පන්දුවාරයත් දක්වා කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට සම්බන්ධව පැවති අඩු ප්‍රහාරාත්මක පිතිකරණ රටාව වඩාත් ඉහළ මට්ටමකට ගෙන යෑමයි.
මෙම කරුණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දසුන් ශානක සඳහන් කර සිටියේ, තරගාවලියට පෙර පැවැත්වුණු පුහුණු තරග දෙකේදී කණ්ඩායම සම්ප්‍රදායික ක්‍රීඩා රටාවෙන් වෙනස්ව ක්‍රීඩා කිරීමට උත්සාහ කළ බවයි. එය ඉතා සාර්ථක අත්දැකීමක් වූ බව පවසන නායකයා, දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් හඹා යෑමේදීත්, ප්‍රතිවාදීන්ට දැවැන්ත ඉලක්කයක් ලබා දීමේදීත් මෙම වෙනස්කම් අතිශයින් වැදගත් වනු ඇති බව පැහැදිලි කළේය.
“අපි හෙට තරගයට පෙර පුහුණු තරග 2 කට ක්‍රීඩා කළා. අපි ඇත්තටම උත්සාහ කළේ වෙනදා සෙල්ලම් කරන ආකාරයෙන් පොඩ්ඩක් වෙනස්ව ක්‍රීඩා කරන්න. ඒක ඉතාමත් හොදට සාර්ථක වුණා. මොකද ඕවර් 6 ඉදන් 15 වෙනකල් අපේ ස්ට්‍රයික් රේට් එක අඩු මට්ටමක තිබ්බා කියන එක අපි හැමෝම දන්නවා. ඒක වැඩි කරගන්න කොහොමද කියන එක ගැන අපි හැමෝම හිතලා තියෙනවා. ලොකු ලකුණු හඹා යද්දීත්, ලොකු ඉලක්කයක් සකස් කරද්දීත් මේක අපිට ගොඩක් වැදගත්,” යනුවෙන් දසුන් මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
‘රයිනෝ කුසලාන’ වෙනුවෙන් පැවැත්වෙන මෙම විස්සයි-20 තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවට එහි අපනයන අංශ ප්‍රධානී රනිල් ශ්‍රී චන්ද්‍රෙස්කර මහතා, ප්‍රමුඛ අනුග්‍රාහකයා වන සෙලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්හි පාරිභෝගික සහ බාහිර සම්බන්ධතා කළමනාකරු ප්‍රේමලාල් පෙරේරා මහතා මෙන්ම පාකිස්තානු විස්සයි-20 නායක සල්මන් අලි අඝාද සහභාගිව සිටියේය.
මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දසුන් ශානක, විස්සයි-20 කණ්ඩායමට එක්ව සිටින ටෙස්ට් නායක ධනංජය ද සිල්වා සම්බන්ධයෙන්ද විශේෂ කරුණු අනාවරණය කළේය. ධනංජය පීඩන අවස්ථාවලදී කණ්ඩායමට අවශ්‍ය දායකත්වය ලබා දිය හැකි ක්‍රීඩකයෙකු බව ඔහු පෙන්වා දුන්නේය.
“ධනංජය කියන්නේ පීඩනය තියෙන වෙලාවලදී දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෙක්“ යැයි සඳහන් කරන දසුන්, “ධනංජය ගොඩක් වෙලාවට පන්දුවට පහර දෙන්න යන්නේ පීඩනයක් තියෙන අවස්ථාවලදී, ඒ වෙලාවට පන්දුව එළියට ගහන්න අමාරුයි. පුහුණුකරුවන් එයත් එක්ක කතා කළාට පස්සේ එයා දැන් ගේම් ප්ලැන් එක වෙනස් කරලා තියෙනවා. මේ වගේ තරගාවලියකට එද්දී ඒක ගොඩක් ලොකු පොසිටිව් දෙයක්. ඔහු අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක්. විශේෂයෙන්ම පන්දු යැවීම. එයාට ඕන වෙලාවක පන්දුවාර දෙකක් තුනක් යවන්න පන්දුව දෙන්න පුලුවන්. ඉතිං ඒක විස්සයි-20 තරග අංශයේ ලොකු වටිනාකමක් එක් කරන්නක්. මෙතැනදි දකින ධනාත්මකම දේ එයාගේ පිතිකරණ විලාශය වෙනස් කරලා තියෙන එක. ඒක අපිට ලොකු වාසියක් වේවි“ යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
පසුගිය තරගාවලි කිහිපය සමාලෝචනය කළ විට ඉදිරි පෙළ පිතිකරුවන්ගෙන් ලැබුණු දායකත්වය ඉතා සතුටුදායක බව දසුන් සඳහන් කළ අතර, නායකයෙකු ලෙසත් මැද පෙළ පිතිකරුවෙකු ලෙසත් ඉදිරි තරගාවලි දෙකේදී මැද පෙළෙන්ද ශක්තිමත් දායකත්වයක් බලාපොරොත්තු වන බව පැවසීය. පසුගිය තරගාවලිවලදී දක්නට ලැබුණු කුඩා අඩුපාඩු නිවැරදි කරගනිමින් ලෝක කුසලානයට සූදානම් වීමට මෙය හොඳ අවස්ථාවක් බව ඔහුගේ විශ්වාසයයි.
“පසුගිය තරගාවලි කීපය ගත්තොත් මං හිතන්නේ ඉදිරි පෙලින් ගොඩක් දායකත්වය හම්බුණා. ඉතිං මම කැප්ටන් කෙනෙක් විදියටත් මැද පෙල පිතිකරුවකු විදියටත් බලාපොරොත්තු වෙනවා මැද පෙලින් හොද දකෂතා දක්වයි කියලා මේ තරගාවලි දෙකේදි. මොකද අපිට පහුගිය තරගාවලිවලදි තිබුණා පොඩි පොඩි අඩුපාඩු. ඒවා මග හරවාගෙන වර්ල්ඩ් කප් එකට සූදානම් වෙන්න මේක හොද අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා“ යැයි දසුන් සදහන් කර සිටියේය.
කණ්ඩායම් සංයුතිය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ දසුන්, විශාල වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව ද සඳහන් කර සිටියේය. කණ්ඩායම මේ වනවිට හොඳ සූදානමක සිටින බව පවසන දසුන්, විශේෂයෙන්ම තරගාවලිය සඳහා හොඳ තණතීරු සකස් කිරීමට බලාපොරොත්තු වූ නමුත් වර්ෂාව හේතුවෙන් එය සම්පූර්ණයෙන් සාර්ථක කරගැනීමට නොහැකි වූ බවද සඳහන් කළේය. එබැවින් තරග අතරතුර තත්ත්වයන්ට අනුව ක්‍රීඩා කිරීමට සිදුවන බවත්, තණතීරුවල තත්ත්වයන් පිළිබඳව කණ්ඩායමට හොඳ අවබෝධයක් ඇති බවත් ඔහු කියා සිටියේය.
මේ අතර තරගාවලිය පිළිබඳ අදහස් දක්වා සිටි පාකිස්තානු නායක සල්මන් අඝා සඳහන් කර සිටියේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන පසුබිමක ඊට පෙර ශ්‍රී ලංකාවේ තණතීරුවල ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවීම එම තරගාවලියට පෙර සූදානම් වීම සඳහා හොඳ අවස්ථාවක් වී තිබෙන බවයි. මෙහිදී තම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කීප පළක්ම මෙම තරග සංචාරයට ඇතුළත් නොවුණ නමුත්, ඒ සදහා ආදේශක ලෙසින් එක් කර සිටින ක්‍රීඩකයින් හොඳින් දක්ෂතා අතරට පැමිණෙනු ඇති බව තම විශ්වාසය බවද ඔහු වැඩිදුරටරත් සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, ට්‍රෙවීන් මැතිව්, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, නුවන් තුෂාර එෂාන් මාලිංග.
පාකිස්තානු කණ්ඩායම – සල්මන් අඝා (නායක), අබ්දූල් සමාද්, ෆකාර් සමාන්, ඛවාජා නෆේ, සහිබ්සදා ෆර්හාන්, සයිම් ආයුබ්, උස්මාන් ඛාන්, ෆහීම් අශ්රෆ්, මොහොමඩ් නවාස්, ශදාබ් ඛාන්, අබ්රාර් අහමඩ්, මොහොමඩ් වසීම්, නසීම් ෂා, සල්මාන් මිර්සා, උස්මාන් තරික්.





