විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ යන්තමින් සති 2 කුත් දින කීපයක් කාලයක් පමණි. එවන් පසුබිමක් පවතිද්දී ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් දෙකම හෙට (22 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය දෙස බලා සිටින්නේ විශ්වාසය ගොඩ නගා ගනිමින්, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා අවශ්‍ය රිද්මය ගොඩ නගා ගැනීමට තමන්ට හිමි මහඟු අවස්ථාවක් ලෙසිනි.
මෙහිදී ශ්‍රී ලංකා නායකයාගේ අදහස වන්නේ ලෝක කුසලාන තරගාවලියක් අතපොවන මානයේ පවතිද්දී මෙවැනි එක්දින තරගාවලියකට ක්‍රීඩා කිරීමෙන් වැඩි දායකත්වයක් ලබාගත නොහැකි බවයි. එහෙත් තම විස්සයි-20 කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයින් කිහිප පළක්ම හෙට ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා වන කණ්ඩායමට ඇතුළත්ව සිටින බැවින් විස්සයි-20 තරගාවලිය සදහා අවශ්‍ය රිද්මය ගොඩ නඟා ගැනීමට මෙම තරගාවලිය හොද අවස්ථාවක් පවතින බවයි. එමෙන්ම පාකිස්තානයට එරෙහිව පාකිස්තානයේ පැවැති එක්දින තරගාවලියේදී ගිලිහී ගිය කීර්තිනාමය යළි ස්ථාපිත කර ගැනීමටත් මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට වක්රා කාර දායකත්වයක් සපයනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය එවන් තලයක පවතිද්දී එංගලන්ත කණ්ඩායමද මෙම තරගාවලියට පිවිස සිටින්නේ අළු බඳුන තරගාවලිය තුළ ක්‍රීඩාවෙන් පමණක් නොව විනය අතින්ද ක්‍රීඩකයින් අතින් ගිලිහී ගොස් තිබෙන විශ්වාසය ගොඩ නගා ගැනීමේ අදිටනින් බව අද (21 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදී එංගලන්ත එක්දින නායක හැරී බෘෘක් සඳහන් කර සිටියේය.
අළු බඳුන තරගාවලිය අතරතුරදී රාත්‍රී සමාජ ශාලාවකට ඇතුළුවීමට යෑමේදී එංගලන්ත නායකයාට දැඩිව චෝදනා එල්ල වුණා පමණක් නොව ඔහුගේ නායකත්වය ද අහිමිවීමේ අවධානමකට මුහුණ දුන්නේය. කෙසේ වෙතත් පවුම් 30,000 ක දඩයක් ද සමගින් ලබා දෙන අවසාන අනතුරු ඇඟවීමත් සමඟින් එංගලන්ත කණ්ඩායමේ එක්දින සහ විස්සයි-20 නායකත්වය රැක ගැනීමට බෘෘක් වාසනාවන්ත විය.
“මගේ අතින් ලොකු වැරැද්දක් වුණා. ක්‍රීඩකයෙකු ලෙසත් නායකයකු ලෙසත්, ඒක එහෙම නොවිය යුතු හැසිරීමක්. මම ඉදිරියේදීත් නායකයකු ලෙස කටයුතු කළ යුතුයි“ යැයි අදහස් දක්වා සිටි එංගලන්ත සුදු පන්දු නායකයා, “මගේ වැරදි වලින් මම පාඩම් ඉගෙන ගත්තා, මගේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට, අපට සහාය දීමට පැමිණෙන අපේ ප්‍රේක්ෂකයින්ට වගේම එංගලන් ක්‍රිකට් ආයතනයට මේ අවස්තාවේදී මම සමාප පළ කරනවා. මේ වගේ දෙයක් නැවත සිදුවෙන්නේ නෑ“ යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට තරගයට පිවිසෙන්නේ තම කණ්ඩායාම සතු විශ්වාසවන්තම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීරවද විිවේක ගන්වමින්. පා දඟ පන්දු යවන වනිඳු හසරංග ද හෙට තරගයට ක්‍රීඩා කිරීම පිළිබඳව පවතින්නේ අවිනිශ්චිත තාවයකි. පාදයේ ආබාධයක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා සිටින වනිඳු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වූයේ ඊයේ (20 වැනිදා) වන බැවින් හෙට තරගයට ක්‍රීඩා කිරීම පිළිබඳව ඇත්තේ අවිනිශ්චිතතාවයකි.
“ලෝක කුසලාන තරගාවලියක් පේන මාන තියෙනකොට ඒ ගැන අවධානමක් ගන්න ඕන නෑ. මොකද විස්සයි-20 තරග සදහා අපිට ඉන්න හොඳම පන්දු යවන්නා වන්නේ වනිඳු“ යැයි පවසන ශ්‍රී ලංකා එක්දින නායකයා, දුෂ්මන්ත චමීරගේ සේවය කණ්ඩායමට අහිමිවීම නායකයකු වශයෙන් තමන්ට අභියෝගයක් වන බවයි.
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අභිමුව මෙම තරග 3 කින් සමන්විත තරගාවලිය පැවැත්වීමටද එය බැලූ බැල්මට දෙපාර්ශ්වයට වැඩි වටිනාකමක් එක් කරවන්නක් නොවන බව පෙනී යයි. එහෙත් 2027 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුවම සූදානම් වීම වෙනුවෙන් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරි ස්ථානයක රැදී සිටීම වෙනුවෙන් මෙම තරගාවලිය දෙපිළටම වඩාත් වැදගත් දායකත්වයක් ලබා දෙයි. ඒ අනුව ශ්‍රී ලංකා පිල හෙටින් ආරම්භ වන තරගාවලියට අවතීර්ණ වන්නේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි සහ එංගලන්ත 8 වැනි ස්ථානයේ සිටය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලිය 3-0ක් ලෙස ජයගත්තහොත්, පස්වැනි ස්ථානයේම රැඳී සිටිමින් එක් ප්‍රසාද ලකුණක් ලබා ගනිමින්, වර්තමාන සිව්වැනි ස්ථානයේ සිටින පාකිස්තානයට සමීප වීමට හැකිවේ. එංගලන්තය එවැනි අවස්ථාවක ප්‍රසාද ලකුණු තුනක් අහිමි කර ගනිමින් අටවැනි ස්ථානයේම රැඳී සිටීමට සිදුවේ.
අනෙක් අතට, එංගලන්තය තරගාවලිය 3-0ක් ලෙස ජයගත්තහොත්, ඔවුන්ට ප්‍රසාද ලකුණු තුනක් ලැබෙන අතර, ශ්‍රී ලංකාව ලකුණු හතරක් අහිමි කර ගනිමින් හයවැනි ස්ථානයට පහත වැටීමට ඉඩ ඇත. එහෙත්, එංගලන්තය අටවැනි ස්ථානයේම රැඳී සිටිමට සිදුවේ.
දඟ පන්දු යවන්නන්ට වඩා හිතකර ලෙසින් දායකත්වයක් ලබා දෙනු ලබන කොළඹ ආර්. ප්‍රේමදාස තනතීරුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමගින් අවතීර්ණ වීම වැඩි වාසියක් ලබාගත හැකි කරුණක් ලෙසින් සලකනු ඇත. එසේ වුවහොත්, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ සමඟින් තරගයට අවතීර්ණ වන අතර එංගලන්ත පිලේ වැඩි වගකීම අදිල් රෂීඩ්ට හිමිවනු ඇත.
කෙසේ වෙතත් ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ද එක්දින සංචිතය සඳහා වන කණ්ඩායමට එක් කර තිබේ. මෙය එක්දින නායකයාගේ සොම්නසට කරුණක් බවට පත්ව ඇත්තේ මේ තරගාවලියේ සිට ධනංජයට අලුත් ආරම්භයක් ලබාගත හැකි තරගාවලියක් වනු ඇති බව තමා විශ්වාස කරන බැවිනි. දක්ෂ පන්දු රකින්නකු ලෙසින්ද නමක් දිනා සිටින ධනංජයට ඕනෑම අවස්ථාවකදී තරගයක් වෙනස් කළ හැකි දඟ පන්දු යවන්නකු ලෙසින් කටයුතු කිරීමට ඇති හැකියාවද චරිත් හොඳින්ම දන්නා කරුණකි.
මීළඟ පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ බැවින් එහිදී වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකුගේ අවශ්‍යතාවය තදින්ම දැනෙනු ඇත. එම අඩුව දැන් සිටම මකා ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා කණ්ඩායමට මිලාන් රත්නායකව කල් තියාම ඇතුළත් කර තිබේ. ලෝක කුසලාන තරගාවලිය වන විට එම කණ්ඩායමට ඇතුළත් වන ක්‍රීඩකයින් වැඩි තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරමින් අත්දැකීම් ලබා සිටීම අතිරේක වාසියක් ලෙස සලකනු ලබන බැවින් රත්නායකදට හෙට තරගයේදී ඉඩ කඩක් වෙන් කිරීම, කණ්ඩායම් කලමනාකාරීත්වය කටයුතු කරනු නොඅනුමානය.
හෙට ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කෙරෙන කණ්ඩායම් මෙසේය.
එංගලන්තය – 1. සැක් ක්‍රොලි, 2. බෙන් ඩකට්, 3. ජෝ රූට්, 4. ජේකබ් බෙතෙල්, 5. හැරි බෘක් (නායක), 6. ජොස් බට්ලර් (කඩුලු රකින්නා), 7. විල් ජැක්ස්, 8. සෑම් කරන්, 9. ජේමි ඔවර්ටන්, 10. ලියම් ඩෝසන්, 11. අදිල් රෂීඩ්.
ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. කමිල් මිශාර, 3. කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක (නායක), 6. ජනිත් ලියනගේ, 7. කමිඳු මෙන්ඩිස්, 8. වනිඳු හසරංග/ජෙෆ්රි වැන්ඩර්සි, 9. ප්‍ර මෝද් මදුෂාන්/එෂාන් මාලිංග/මිලාන් රත්නායක, 10. මහීෂ් තීක්ෂණ, 11. අසිත ප්‍රනාන්දු.





