slc
logo
Home   |    News
පෙබරවාරි 17, 2026
ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් පරදා ශ්‍රී ලංකාව සුපිරි අටට යයි

sinhala editor

ලෝක කුසලාන තරගාවලියේ මෙවර පිතිකරුවෙකු දැනට ඉනිමකදී සටහන් රැස්කළ වැඩිම ලකුණු ගණන එක්කරමින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 52කදී හයේ පහර 5ක් හා හතරේ පහර 10ක් සමඟ නොදැවී ලකුණු 100ක් ලබා තම විස්සයි20 ජාත්‍යන්තර දිවියේ දෙවැනි ශතකය සම්පූර්ණ කිරීමත් සමඟ අයි.සී.සී. ලෝක කුසලාන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් පරදා සුපිරි අට වටයට පිවිසියේය.

තවත් පන්දු 12ක් ඉතිරිව තිබියදී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (16) ලබාගත් මෙම විශිෂ්ඨ ජයග්‍රහණය ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ පිට පිට තෙවැනි ජයග්‍රහණය විය. සිම්බාබ්වේ සමඟ තරගය ඉතිරිව තිබියදී ‘බී‘ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 6ක් වාර්තා කොට ශ්‍රී ලංකා පිල පෙරමුණටම පැමිණ සිටී. මේ තත්ත්වය මත තරග දෙකක් පරාජයවී සිටින ඔස්ට්‍රේලියාව සුපිරි 8 වටයට පිවිසීමට නම් අනෙක් ප්‍රතිළුල මත බලා සිටින තත්ත්වයක් නිර්මාණයවී තිබේ.

පිට පිට තෙවැනි අර්ධ ශතකය වාර්තා කළ කුසල් ‍මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංක දෙවැනි කඩුල්ලට පන්දු 66කදී රැස්කළ ලකුණු 97ක සබඳතාව මෙහිදී කැපී පෙණුනි. සතර අතට පිත්ත හැසරවූ කුසල් මෙන්ඩිස් විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී රැස්කළ 20 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර, පන්දු 38කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 51ක් ලබා ගත්තේය.

කුසල්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි යොවුන් ක්‍රීඩක පවන් රත්නායක පන්දු 15කදී හතරේ පහර 6ක් සමඟ නොදැවී ඉක්මන් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වූවේය. පැතුම් හා පවන් ‍තෙවැනි කඩුල්ලට පන්දු 34කදී ලකුණු 79ක නොබිඳුණු සබඳතාවක් එක්කළ අතර, එය වේගවත් ජයග්‍රාහී අවසානයකට මඟ පෑදීමක් විය.

ශ්‍රී ලංකා ඉනිමේ 15 වැනි ඕවරය යැවූ ස්ටොයිනස්ගේ පන්දු වලට හතරේ පහර 3ක් හා හයේ පහරක් සමඟ ලකුණු 20ක් ලබාගත් පැතුම්, එල්ලීස් එවූ 17 වැනි ඕවරයේදී හයේ පහර 2ක් සමඟ ලකුණු 18ක් එක් කළේය.

සුපිරි අට වටයේ බලාපොරොත්තු රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඕස්ට්‍රේලියාවට ‘ජීවිතය හෝ මරණය’ අතර සටනක් බඳුවූ අතර, ඔවුන්ගේ සියලු බලාපොරොත්තු අද රාත්‍රියේ සුන්වී ගියේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගේ ආරාධනාව පරිදි මුලින් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් ඕවර් 20 තුලදී සියලු දෙනා දැවී ලකුණු 181ක් ලබා ගත්තේය. ඕවරයකට දළ ලකුණු වේගය 9. 05ක් වූ මෙම ඉලක්කයට ශ්‍රී ලංකා පිතිකරුවෝ මුල සිටම සැලසුම් සහගතව අවතීර්ණවීම කැපී පෙණුනි.

පැතුම් නිස්සංක මෙවර ලෝක කුසලාන තරගාවලියේ හොදම උඩ පන්දුව රැක ගනිමින් ඔස්ට්‍රේලියාවේ භයානකම පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් දවා ගැනීමට සමත්වීම කැපී පෙණුනි. දුෂාන් හේමන්ත‍ගේ පන්දුවකට මැක්ස්වෙල් රිවර්ස් ස්විප් පහරක් එල්ල කළ අතර, ‘බැක්වර්ඩ් පොයින්ට්‘ හි සිටි පැතුම් එක තැනම උඩු ගුවනේ වම් පැත්තට පියාසර කරමින් අපූරු ග්‍රහණයක් කිරීම දර්ශනීය අවස්ථාවක් විය.

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලය වූ ට්‍රැවිස් හෙඩ් හා මි‍චෙල් මාෂ් ඕවර් 8.3කදී ලකුණු 104ක සබඳතාවක් ගොඩනැගූ අතර, විස්සයි20 තරගවලදී 6 වැනි අර්ධ ශතකය වාර්තා කළ ට්‍රැවිස් ‍හෙඩ් පන්දු 29දී හතරේ පහර 7ක් හා හයේ පහර 3ක් සමඟ ලකුණු 56 ලබා සිටියදී දුෂාන් හේමන්තගේ පන්දුවකට කමිඳු ‍මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.

නායක මිචෙල් මාෂ් පන්දු 27කදී හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමඟ ලකුණු 54ක් ලබා සිටියදී දුෂාන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේවරදට හසුවී දැවී ගි‍යේය. ඔස්ට්‍රේලියාවේ අවසන් කඩුලු 6 ලකුණු 21කට දවා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වීමෙන් ලකුණු වේගය අඩාල විය.

ඕස්ට්‍රේලියාව ජොෂ් හේසල්වුඩ් වෙනුවට ස්ටීවන් ස්මිත් සංචිතයට එක් කළ අතර, ශ්‍රී ලංකාව කමිල් මිෂාර වෙනුවට කුසල් ජනිත් පෙරේරා ඊ‍යේ තරගයට කැඳවා තිබිණි. 

ඔස්ට්‍රේලියාව ඕවර් 20 තුලදී සියලු දෙනා දැවී ලකුණු 181යි – (ට්‍රැවිස් හෙඩ් 56, මිචෙල් මාෂ් 54, කැමරුන් ග්‍රීන් 3, ටිම් ඩේවිඩ් 6, ජොෂ් ඉංග්ලිෂ් 27, ග්ලේන් මැක්ස්වෙල් 22, මාකස් ස්ටොයිනිස් 4, කූපර් කොනාලී 3, ෂේවියර් බාට්ලිට් 0, නේතන් එලිස් නොදැවී 0, ඇඩම් සම්පා නොදැවී 1, දුෂ්මන්ත චමීර 36/2, මහීෂ් තීක්ෂණ 37/1, මතීෂ පතිරණ 3/0, දසුන් ශානක 16/0, දුෂාන් හේමන්ත 37/3, දුනිත් වෙල්ලාලගේ 33/1, කමිඳු මෙන්ඩිස් 19/1)

ශ්‍රී ලංකා පිල ඕවර් 18කදී කඩුලු 2ක් දැවී ලකුණු 184යි – (පැතුම් නිශ්ශංක නොදැවී 100, කුසල් පෙරේරා 1, කුසල් මෙන්ඩිස් 51, පවන් රත්නායක නොදැවී 28, ෂේවියර් බාට්ලිට් 22/0, මාකස් ස්ටොයිනිස් 46/2, නේතන් එලිස් 32/0, කූපර් කොනාලී 27/0, ඇඩම් සම්පා 41/0,  ග්ලේන් මැක්ස්වෙල් 16/0)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar