තායිලන්තයේ Bangkok නගරයේ පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන කාන්තා (A) කණ්ඩායම් අතර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම, තායිලන්ත නැගී එන කාන්තා කණ්ඩායම පරදවා ලකුණු 23ක ජයක් වාර්තා කළේය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 133ක් රැස් කළේය. එයට පිළිතුරු ලෙස තායිලන්ත කණ්ඩායම පන්දුවාර 19.2කදී සියලු දෙනා දැවී ලකුණු 110ක් පමණක් ලබාගත්තේය.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකා අංක තුන පිතිකාරිණිය හංසිමා කරුණාරත්නයි. ඇය පන්දු 53කට මුහුණදී හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 62ක් රැස් කළාය.
ශ්‍රී ලංකා ඉනිම අතරතුර පන්දුවාර 6.5කදී ලකුණු 29කට කඩුලු 3ක් දැවී අවදානම් තත්ත්වයක සිටියදී, හංසිමා කරුණාරත්න සහ අමා කාංචනා සිව්වන කඩුල්ල සඳහා පන්දුවාර 6.3කදී ලකුණු 44ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගා ලකුණු සංඛ්‍යාව 73 දක්වා ඉහළ නැංවුහ. අමා කාංචනා පන්දු 24කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 26ක් රැස් කර දෙවැනි වැඩිම ලකුණු ලාභිනිය බවට පත්විය.
ලකුණු 134ක ඉලක්කයක් හඹා ගිය තායිලන්ත කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකාරිණියන් වූ නට්හාකාන් චන්තාම් (පන්දු 49කදී 57 – හතරේ 7, හයේ 2) සහ අප්හිසරා සුවන්චොරානි (පන්දු 26කදී 24 – හතරේ 4) පළමු කඩුල්ල සඳහා පන්දුවාර 8.1කදී ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනගා ශක්තිමත් ආරම්භයක් ලබාදුන්හ. එහෙත් මැද පෙළ පිතිකාරිණියන් අසාර්ථක වීම හේතුවෙන් ඉලක්කය වෙත ළඟාවීමට නොහැකි විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතර සත්‍යා සංදීපනී (20/2) සහ සචිනි නිසංසලා (23/2) කැපී පෙනුණි.ලකුණු පුවරුව
ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම පන්දුවාර 20ක දී කඩුලු 5ක් දැවී ලකුණු 133 – හංසිමා කරුණාරත්න නොදැවී 62, අමා කාංචනා 26, සංජානා කාවින්දි 13, ශ්‍යානි සේනාරත්න 10, ෆානිටා මායා 19/2
තායිලන්ත නැගී එන කාන්තා කණ්ඩායම පන්දුවාර 19.2ක දී සියල්ල දැවී ලකුණු 110 – නට්හාකාන් චන්තාම් 57, අප්හිසරා සුවන්චොරානි 24, සත්‍යා සංදීපනී 20/2, සචිනි නිසංසලා 23/2





