දකුණු අප්‍රිකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ගැරි කර්ස්ටන් මහතා ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
මෙම පත්වීම 2026 අප්‍රේල් 15 දින සිට බලපැවැත්වෙන අතර, ඔහුගේ සේවා කාලය 2028 අප්‍රේල් 14 දිනෙන් අවසන් වන දෙවසරක කාලයක් සඳහා වනු ඇත.
දකුණු අප්‍රිකාව නියෝජනය කළ කර්ස්ටන් මහතා, 2008 සිට 2011 දක්වා ඉන්දීය පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, 2011 සිට 2013 දක්වා දකුණු අප්‍රිකා පිරිමි ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කළේය.
ඔහුගේ එම පුහුණුකරු ධුර කාලය තුළ, ඉන්දීය කණ්ඩායම 2011 වසරේ පැවැති ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරා යෑමට ඔහු මඟ පෙන්වීය. තවද, 2013 වසර වන විට දකුණු අප්‍රිකා කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 ආකාර තුනේම ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට දක්වා රැගෙන ඒමට ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ හැකි විය.
ඔහුගේ ආසන්නතම ජාත්‍යන්තර තරගාවලියබවට පත්වූයේ, ඊයේ නිමාවට පත්වූ 2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේදී නැමීබියා ක්‍රිකට් කණ්ඩායමට උපදේශකයෙකු ලෙස සේවය කිරීමයි.
1993 සිට 2004 දක්වා දිගු වූ ඔහුගේ ක්‍රීඩා ජීවිතය තුළ, ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරඟ එකතුවෙන් ලකුණු 14,087ක් රැස් කර ඇති අතර, එයට ටෙස්ට් ශතක 21ක් සහ එක්දින ශතක 13ක්ද ඇතුළත් වේ.
කර්ස්ටන් මහතාගේ ප්‍රධාන වගකීම් අතරින් වැදගත් එකක් වන්නේ 2027 දී දකුණු අප්‍රිකාව, නැමීබියාව සහ සිම්බාබ්වේ යන රටවල සත්කාරකත්වය ඇතිව පැවැත්වීමට නියමිත ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සූදානම් කිරීම වේ.
මෙම නව ප්‍රධාන පුහුණුකරු පත්වීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයේ (National High Performance Center) ව්‍යුහය නැවත සකස් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස සිදු කර ඇත.






