ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවැති සුපිරි 8 වටයේ තරගවල දෙවැනි දිනය පිතිකරුවන්ගේ දවසක් වූ අතර, එන්සීසී පිලේ ළහිරු උදාර හා පිලේ ධනංජය ද සිල්වා ද්විත්ව ශතක වාර්තා කිරීමට සමත් වූහ. ළහිරු උදාරගේ ද්විත්ව ශතකය හේතුවෙන් එන්සීසී පළමු ඉනිම ලකුණු 631ක් දක්වා ඉහළ ගිය අතර, ධනංජය ද සිල්වාගේ ද්විත්ව ශතකය හේතුවෙන් සීසීසී පළමු ඉනිම ලකුණු 532 දක්වා ඉහළ ගියේය. එය මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ ඉනිමක වාර්තා වූ වැඩිම ලකුණු ගණන වූවේය.
ළහිරු උදාර සමඟ එක්වූ කමිල් මිෂාර පන්දු 210කදී හතරේ පහර 12ක් හා හයේ පහර 3ක් සමඟ ලකුණු 149ක් වාර්තා කළ අතර, දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 383කදී ලකුණු 258ක වාර්තාගත සබඳතාවක් ගොඩ නැගූහ. එන්සීසී පිලේ පැතුම් නිශ්ශංක ලකුණු 77ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 35ක් ලබා දැවීගිය අවස්ථාවේ ආරම්භක පිතිකරු ලෙස එක් අන්තයක සිටි ළහිරු උදාර පන්දු 315කදී හතරේ පහර 25ක් හා හයේ පහර 4ක් සමඟ ලකුණු 261ක් වාර්තා කිරීමට සමත් වූවේය.
සීසීසී පිලේ අංක 4 පිතිකරු ධනංජය ද සිල්වා පන්දු 291කදී හයේ පහරක් හා හතරේ පහර 21ක් සමඟ ලකුණු 204ක් ලැබූ අතර, පවන් ඔහුට අනගි සහයක් ලබාදුන් අන්ජල බණ්ඩාර පන්දු 200කදී හයේ පහර 3ක් හා හතරෙ පහර 16ක් සමඟ ලකුණු 151ක් වාර්තා කළේය.
අද දින අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවන් අතර,කෝලට්ස් ක්‍රිකට් සමාජයේ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 63ක් හා දුනිත් වෙල්ලාලගේ ලකුණු 60ක්, මුවර්ස් පිලේ රමේෂ් මෙන්ඩිස් ලකුණු 96ක් හා මිලාන් රත්නායක ලකුණු 75ක් වාර්තා කළහ.
පන්දු යැවීමේදී පොලිස් ක්‍රීඩා සමාජයේ දිලුම් සුධීර ලකුණු 211කට කඩුලු 5ක් හා සීසීසී පිලේ නිශාන් පීරිස් ලකුණු 42කට කඩුලු 5ක් බිද හෙලීමට සමත් වූහ.
ලකුණු සාරාංශය
එන්සීසී හා පොලිස් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී
එන්සීසී පළමු ඉනිම ඕවර් 126කදී කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 631
පැතුම් නිශ්ශංක 77, ළහිරු උදාර 261, නිරෝෂන් දික්වැල්ල 35, කමිල් මිෂාර 149, අහන් වික්‍රමසිංහ 44, සහන් ආරච්චිගේ 22, චාමික කරුණාරත්න නොදැවී 22 (දිලුම් සුධීර 211/5, සුපුන් මධුසංඛ 116/2)
පොලිස් පළමු ඉනිම ඕවර් 52කදී කඩුලු 2ක් දැවී ලකුණු 128
අවිහ්ක තරිඳු 29, ධනුජ ඉඳුවර නොදැවී 44, දුලාෂ් උදයංග නොදැවී 38 (කවිඳු පතිරත්න 13/1, අහේන් ඩැනියෙල් 15/1)
සීසීසී හා බීආර්සී අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී
සීසීසී පළමු ඉනිම ඕවර් 116.2කදී කඩුලු 6ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 532
දුල්නිත් සිගේරා 81, ලසිත් කෘස්පුල්‍ලේ 37, ධනංජය ද සිල්වා 204, පවන් රත්නායක 16, අන්ජල බණ්ඩාර 151 (යසිරු රුද්‍රිගූ 69/2, මුවින් අභිනාෂ් 113/3)
බීආර්සී පළමු ඉනිම ඕවර් 41.3කදී කඩුලු 7ක් දැවී ලකුණු 124
රසිත් උපමාල් 35, රමින්ද විජේසූරිය 35 (නිශාන් පීරිස් 42/5, විශ්ව ප්‍රනාන්දු 21/2)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය හා කෝලට්ස් අතර තරගය සීසීසී ක්‍රීඩා පිටියේදී
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 77.3කදී සියලු දෙනා දැවී ලකුණු 290
පවන්ත වීරසිංහ 61, නිමේෂ ගුණසිංහ 20, කවිඳු ආමන්ත 26, කවිඳු කුලසේකර 61, රනේෂ් සිල්වා 42, රවීන් ද සිල්වා නොදැවී 35, ඉසිත විජේසුන්දර 21 (උදිත් මධුෂාන් 54/2, දුනිත් වෙල්ලාලගේ 48/2, අකිල ධනංජය 75/2)
කෝලට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 77.1කදී සියලු දෙනා දැවී ලකුණු 282
සංගීත් කුරේ 27, ධනංජය ලක්ෂාන් 46, ඇන්ජලෝ මැතිව්ස් 63, දුනිත් වෙල්ලාලගේ 60, මුදිත් ලක්ෂාන් 54 ( ඉසිත විජේසුන්දර 47/4, චමොද් බැට්ටගේ 57/3)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 3කදී කිසිවෙකු නොදැවී ලකුණු 11
පවන්ත වීරසිංහ නොදැවී 6, තීරක රණතුංග නොදැවී 5
බ්ලුම්ෆීල්ඩ් හා මුවර්ස් අතර තරගය කොළඹ කෝල්ට් පිටියේදී
බ්ලුම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ඕවර් 72කදී සියලු දෙනා දැවී ලකුණු 229
රොන් චන්ද්‍රගුප්ත 16, අසිත වන්නිනායක 36, ජනිත් ලියනගේ 32, තරිඳු හර්ෂණ 59, ජෙෆ්රි වැන්ඩර්සේ 63 (චානුක දිල්ෂාන් 67/4, ඉම්තියාස් සල්සා 42/2)
මුවර්ස් පිල පළමු ඉනිම ඕවර් 86කදී සියලු දෙනා දැවී ලකුණු 322
සොහාන් ද ලිවේරා 43, ශිරාන් ප්‍රනාන්දු 16, පසිඳු සූරියාරච්චි 16, ෂෙහාන් ප්‍රනාන්දු 32, රමේෂ් මෙන්ඩිස් 96, මිලාන් රත්නායක 75 (දෙවිඳු තිලකරත්න 69/3, ජනිත් ලියනගේ 44/4)
බ්ලුම්ෆීල්ඩ් පිල දෙවැනි ඉනිම ඕවර් 9කදී කඩුලු 2ක් දැවී ලකුණු 40
රොන් චන්ද්‍රගුප්ත නොදැවී 17, කසුන් අබේරත්න 21 (ඉම්තියාස් සල්සා 17/2)





