slc
logo
Home   |    News
අගෝස්තු 27, 2026
පසුපෙළ පිතිකරුවන් සමග එක්වූ සොනාල් දිනූෂ දෙවැනි ටෙස්ට් තරගය බේරා දෙයි

sinhala editor

ඉන්දීය පන්දු යවන්නන්ගේ සියලු උත්සාහයන් අභිබවා යමින් සොනාල් දිනූෂ සහ ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන්ගේ අධිෂ්ඨානශීලී පිතිහරඹය හේතුවෙන් කොළඹ එස්.එස්.සී. පිටියේ අද (27 දා) නිමාවට පත් දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. සිය ටෙස්ට් දිවියේ ඉනිම් හතරක් තුළ තෙවැනි ශතකයද වාර්තා කරමින් නොදැවී ලකුණු 133ක් රැස් කළ දිනූෂ, පස්වැනි දිනය පුරා පැය ගණනක් කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා ඉනිමට අතිවිශිෂ්ට ආරක්ෂාවක් ලබා දුන් අතර, ඔහුට එක්වූ පහළ පෙළ පිතිකරුවෝද ඉන්දීය පන්දු යවන්නන්ගේ ජයග්‍රාහී බලාපොරොත්තු එකින් එක බිඳ දමමින් ගෞරවාන්විත තරගාවසානයක් කරා රැගෙන ගියේය.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් බේරීමේ අභියෝගයක් ලබාදී තිබූ පසුබිමක, පිට පිට ඉනිම් දෙකකදී ශ්‍රී ලංකා පිතිකරුවන් හමුවේ පන්දු ඕවර 243.4ක් යැවීමට ඉන්දීය පන්දු යවන්නන්ට සිදුවීම ඔවුන් මුහුණ දුන් අභියෝගයේ තරම මැනවින් පෙන්වීය.

මෙහි ප්‍රධාන චරිතය වූයේ සොනාල් දිනූෂය. සිය පස්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දිනූෂ, පළමු ඉනිමේදී ලකුණු 103ක් රැස් කිරීමෙන් අනතුරුව දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 133ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ආරක්ෂිත තත්ත්වයකට රැගෙන ගියේය.

මෙම ශතකයත් සමඟ සොනාල් දිනූෂ තවත් සුවිශේෂී වාර්තාවකට හිමිකම් කීවේය. ඒ අනුව ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියකදී ශතක තුනක් වාර්තා කළ ශ්‍රී ලාංකික පිතිකරුවන් අතරට දිනූෂ එක් වූයේ අරවින්ද ද සිල්වා සහ කුමාර් සංගක්කාර සමඟිනි. මීට පෙර අරවින්ද ද සිල්වා අවස්ථා දෙකකදීත්, සංගක්කාර එක් අවස්ථාවකදීත් මෙම දස්කම සිදු කර තිබූ අතර, දිනූෂ ඉන්දියාවට එරෙහි මෙම තරගාවලියේදී ශතක තුනක් රැස් කරමින් එම සුවිශේෂී ලැයිස්තුවේ තෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්විය.

ඒ අනුව ඉනිම් හතරක් තුළ ඔහු ලබාගත් තෙවැනි ටෙස්ට් ශතකය ලෙසද මෙය සටහන් විය. තරගයේ ඉනිම් දෙකේදී පමණක් පන්දු 426කට මුහුණ දුන් දිනූෂ, තණතීරුවේ ස්වභාවය මැනවින් අවබෝධ කර ගනිමින් ඉතා සංයමයෙන් සිය ඉනිම ගොඩනැගීය.

විශේෂයෙන් ඉන්දීය දඟ පන්දු යවන්නන්ට එරෙහිව ඔහුගේ ස්වීප් පහර ඉතා සාර්ථක විය. සාමාන්‍යයෙන් අවදානම් සහගත ඩ්‍රයිව් පහරවලින් වැළකී සිටි ඔහු, තමන්ට විශ්වාසයෙන් ක්‍රීඩා කළ හැකි පහර පමණක් තෝරා ගනිමින් දිගු වේලාවක් කඩුල්ලේ රැඳී සිටියේය.

දිවා ආහාරයෙන් පසු ඉන්දීය කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් ඇති කළේ මනව් සුතර්, යැවූ පන්දුවක් අනපේක්ෂිත ලෙස හැරී ඉහළට ඉපිලීමෙන් කේෂාර නුවන්ත ගලිහිදී උඩපන්දුවකට හසුකර ගැනීමට හැකි විය.

ඒ වන විට නුවන්ත සහ දිනූෂ හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 246කදී ලකුණු 112ක දැවැන්ත සබඳතාවක් ගොඩනඟා තිබුණි. නුවන්ත දැවී යන විට ශ්‍රී ලංකාවේ ඉදිරිය ලකුණු 117ක් පමණක් වූ බැවින් තරගයේ තීරණය පිළිබඳව තවදුරටත් අවිනිශ්චිතතාවක් පැවතුණි. එහෙත් ශ්‍රී ලංකා පහළ පෙළ පිතිකරුවෝ දිනූෂට එක්වෙමින් ඉන්දීය පන්දු යවන්නන්ට තවදුරටත් දැඩි පීඩනයක් එල්ල කළහ.

ප්‍රභාත් ජයසූරිය පන්දු 28 කට මුහුණ දෙමින් දිනූෂ සමඟ කඩුල්ලේ රැඳී සිටි අතර, අවසානයේ රවීන්ද්‍ර ජඩේජාගේ පන්දුවකට ගලිහිදී උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. ඉන් අනතුරුව පිටියට පැමිණි ළහිරු කුමාර මෙවර ඉතාමත් වෙනස් ප්‍රවේශයකින් ක්‍රීඩා කළේය. පළමු ඉනිමේදී අනවශ්‍ය පහරකට ගොස් දැවී ගිය ඔහු, දෙවැනි ඉනිමේදී ඉතා ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත විය. පන්දු 90කට මුහුණ දුන් වමත් පිතිකරුවා ලකුණු 12ක් පමණක් රැස් කළද, ඔහුගේ ඉනිම ශ්‍රී ලංකාවට ඉතා වටිනා එකක් විය. දිනූෂ සමඟ පන්දු 170කදී ලකුණු 47ක සබඳතාවක් ගොඩනඟමින් ඔහු ඉන්දීය පන්දු යවන්නන්ගේ කාලය සහ ශක්තිය තවදුරටත් වැය කළේය.

අවසානයේ ජඩේජා විසින් තියුණු ලෙස දඟ කැවී එවන ලද පන්දුව පිත්තේ වැදී උඩපන්දුවක් ලෙස ෂෝට් ලෙග් කළාපයේ සිට රැග ගැනීම නිසා ළහිරු කුමාර දැවී ගියේය.  ඒ වන විට ශ්‍රී ලංකාව තරගය බේරා ගැනීමේ ඉලක්කයට ඉතා ආසන්නව සිටියේය.

ඉන් අනතුරුව දිනූෂ සමඟ අසිත ප්‍රනාන්දුද එක්ව තවත් පන්දු 56කට මුහුණ දෙමින් ඉන්දීය බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම අවසන් කළේය. ඉන්දියාවට තරගය ජය ගැනීමට ඇති අවස්ථාවක් නොමැති බව පැහැදිලි වූ පසු නම් නොදැරූ පන්දු යවන්නන් පවා යොදා ගත්තද ඊට වඩා ශ්‍රී ලංකා පිතිකරුවෝ ධෛර්යවන්ත ලෙසින් පිති හැසිරවූහ.

අවසානයේ ශ්‍රී ලංකාව ඉනිම ප්‍රකාශයට පත් කරන විට ඔවුන්ගේ ඉදිරිය ලකුණු 216ක් දක්වා ඉහළ ගොස් තිබුණි. ඉන් අනතුරුව ඉතිරි වූ අවසන් පැය තුළ ඉන්දියාවට කඩුලු ලබා ගැනීමේ අවස්ථාවක් නොලැබුණු අතර, දෙපිලම අතට අත දීමත් සමඟ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඉන්දීය පන්දු යවන්නන් අතර වැඩිම පන්දු ඕවර සංඛ්‍යාවක් යැවීමට සිදුවූයේ දඟ පන්දු යවන්නන්ටය. මනව් සුතර්, රවීන්ද්‍ර ජඩේජා සහ සරන්ෂ් ජේන් දෙවැනි ඉනිමේදී එක් අයකු පන්දුවාර 35කට වැඩි ප්‍රමාණයක් යවා තිබූ අතර, තරගය පුරා ඔවුන් එක් අයකු පන්දුවාර 55කට වැඩි සංඛ්‍යාවක් යවා තිබුණි.

මෙම තරගයත් සමඟ දිනූෂ තරගාවලිය අවසන් කළේ ලකුණු 419ක් රැස් කරමිනි. ඔහුගේ ඉනිමක සාමාන්‍යය 139.66ක් වූ අතර, ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට මෙම ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ඔහුගේ විශිෂ්ට දායකත්වය තීරණාත්මක විය.

ඉන්දියාව පළමු ඉනිම පන්දුවාර 138 කදී කඩුලු 9 ට ඉනිම අත්හිටුවන විට ලකුණ 503 යි –

(දේව්දත් පඩික්කාල් 117, ශුබ්මන් ගිල් 50, රවීන්ද්‍ර ජඩේජා 43, යශස්වි ජයිස්වාල් 45, කේ.එල්. රාහුල් 18, රිෂාබ් පාන්ට් 63, රවීන්ද්‍ර ජඩේජා 43, ධෘෘව් ජුරෙල් 115*, සාරාන්ෂ් ජේන් 06,මානව් සුතර් 18, මොහොමඩ් සිරාජ් 03, ප්‍රසිද් ක්‍රිෂ්ණා 04*, අසිත ප්‍රනාන්දු 106/4, ප්‍රභාත් ජයසූිය 132/2, කේෂර නුවන්ත 154/2, ළහිරු කුමාර 68/1)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 89.4 කදී සියලු දෙනා දැවී ලකුණු 290 යි –

(ළහිරු උදාර 01, කමිල් මිශාර 19, ප්‍රභාත් ජයසූරිය 02, පසිඳු සූරියබණ්ඩාර 80, කමිඳු මෙන්ඩිස් 32, ධනංජය ද සිල්වා 08, සොනාල් දිනූෂ 103, නිරෝෂන් දික්වැල්ල 00, කේෂර නුවන්ත 18, ළහිරු කුමාර 12, අසිත ප්‍රනාන්දු 01*, ප්‍රසිද් ක්‍රිෂ්ණා 52/3, මානව් සුතාර් 85/3, රවීන්ද්‍ර ජඩේජා 45/1, මොහොමඩ් සිරාජ් 33/1, සරන්ස් ජේන් 69/2)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 154 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 429 යි –

(පසිඳු සූරියබණ්ඩාර 92, කමිල් මිශාර 32, ළහිරු උදාර 03, කමිඳු මෙන්ඩිස් 55, ධනංජය ද සිල්වා 23, සොනාල් දිනූෂ 133*, නිරෝෂන් දික්වැල්ල 06, කේෂර නුවන්ත 46, ප්‍රභාත් ජයසූරිය 02, ළහිරු කුමාර 12, අසිත ප්‍රනාන්දු 00*, මානව් සුතර් 121/3, ප්‍රසිද් ක්‍රිෂ්ණා 57/1, මොහොමඩ් සිරාජ් 26/1, සර්න්ෂ් ජේන් 98/1, රවීන්ද්‍ර ජඩේජා 94/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee