slc
logo
Home   |    News
අගෝස්තු 26, 2026
අවසන් පන්දුවෙන් දඹුල්ල අවසන් පූර්ව වටයට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකන් යූත් ලීග් 2026 පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් දිනය වූ අද (26) පැවැති තීරණාත්මක තරගයකදී කොළඹ උතුරු කණ්ඩායමට එරෙහිව එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කළ දඹුල්ල කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

කොළඹ උතුරු කණ්ඩායම පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී ලකුණු 230ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය දඹුල්ල කණ්ඩායම පන්දුවාර 50 අවසන් වන විට කඩුලු 9ක් දැවී ලකුණු 231ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කළේය.

දඹුල්ල ඉනිමේ මුල් පෙළ බිඳ වැටීමෙන් අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් අකේන් සුජයන සහ දිසස් බණ්ඩාර එක්ව පන්දු 184කදී ලකුණු 133ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනඟමින් ජයග්‍රහණයට ශක්තිමත් අඩිතාලමක් දැමූහ. අකේන් සුජයන ලකුණු 72ක්ද, දිසස් බණ්ඩාර ලකුණු 63ක්ද රැස් කළහ.

එහෙත් අවසන් අදියරේදී දඹුල්ල කණ්ඩායම යළිත් අසීරු තත්ත්වයකට පත්වූ අතර, ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ අවසන් ලකුණු කිහිපය ලබා ගැනීම තරගයේ උණුසුම තවදුරටත් ඉහළ නැංවීය. අවසන් කඩුල්ල වෙනුවෙන් උදයකුමාර් ෂෙනෝන් සහ ටෙරන් සචින් එක්ව පන්දු 11කදී නොබිඳුණු ලකුණු 13 ක සම්බන්ධතාවක් ගොඩනඟමින්, 50 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී දඹුල්ල ජයග්‍රහණය තහවුරු කළහ.

කොළඹ උතුරු ඉනිමේදී ෂනෝන් සිල්වා ලකුණු 80ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, කවිත් ද සිල්වා ලකුණු 25ක්, තිසංග පෙරේරා ලකුණු 20ක් සහ විහඟ පෙරේරා ලකුණු 19ක් රැස් කළහ. දඹුල්ල පන්දු යැවීමේදී කලිඳු සචින්තන සහ උදයකුමාර් ෂෙනෝන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

මූලික වටයේදී සහභාගි වූ තරග හතරෙන් තරග තුනක් පරාජයට පත්ව සිටි දඹුල්ල කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා අද තරගය ජය ගැනීම අතිශය තීරණාත්මක විය. ඒ අනුව දැඩි සටනකින් අනතුරුව ලැබූ මෙම ජයත් සමඟ ඔවුන් අවසන් කණ්ඩායම් හතර අතරට එක්විය.

මේ අතර කොළඹ දකුණ කණ්ඩායම මූලික වටයේදී තමන් සහභාගි වූ තරග හතරම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගත්තේය. අද පැවැති තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 45ක ජයක් වාර්තා කරමින් ඔවුන් එම අපරාජිත වාර්තාව තවදුරටත් රැක ගත්හ.

පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 271ක් රැස් කළ අතර, ස්ටීවොන් පීරිස් ලකුණු 81කින් ඉනිම ශක්තිමත් කළේය. මියුරු බණ්ඩාර ලකුණු 41ක්ද, ගෙසඳු බිසස් ලකුණු 37ක්ද, රෙෂාන් සොලාමන්ස් ලකුණු 33ක්ද රැස් කළහ. ගාල්ල වෙනුවෙන් ගෙසඳු බිසස් කඩුලු 3ක් දවා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 226ක් පමණි. හිරුන් මතීෂ ලකුණු 60ක් සහ යොමිරු සස්වින් ලකුණු 53ක් රැස් කළහ. මෙතුම් ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත් අතර මහිරු කොඩිතුවක්කු කඩුලු 2ක් ලබා ගත්තේය.

මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ කොළඹ දකුණ තරග හතරකින් ජයග්‍රහණ හතරක් සමඟ ලකුණු 7ක් ලබා පළමු ස්ථානයේ පසුවන අතර, ගාල්ල තරග හතරකින් ජයග්‍රහණ තුනක් සමඟ ලකුණු 6ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි. තරග දෙකක් ජයගත් මහනුවර ලකුණු 4ක් සමඟ තෙවැනි ස්ථානයේත්, දඹුල්ල එක් ජයග්‍රහණයක් සමඟ ලකුණු 2ක් ලබා සිව්වැනි ස්ථානයේත් පසුවෙයි.

මේ අතර කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කොළඹ උතුරු කණ්ඩායම තරගාවලියේ සහභාගි වූ තරග හතරම පරාජයට පත්ව ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වීමද මෙවර තරගාවලියේ කැපී පෙනෙන සිදුවීමක් විය.

ඒ අනුව කොළඹ දකුණ, ගාල්ල, මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.

දඹුල්ලට එක් කඩුල්ලක ජයක්

කොළඹ උතුර – 230 (පන්දුවාර 49.2)
ෂනෝන් සිල්වා 80, කවිත් ද සිල්වා 25, තිසංග පෙරේරා 20, විහඟ පෙරේරා 19, යුවෙන් ද සිල්වා 15, හිමිර කුඩගම නොදැවී 16, කලිඳු සචින්තන 30/2, උදයකුමාර් ෂෙනෝන් 40/2

දඹුල්ල – 231/9 (පන්දුවාර 50)
අකේන් සුජයන 72, දිසස් බණ්ඩාර 63, චමෝද් ප්‍රභාෂ 19, ශම්මා ප්‍රනාන්දු 44/2

කොළඹ දකුණට ලකුණු 45ක ජයක්

කොළඹ දකුණ – 271/8 (පන්දුවාර 50)
ස්ටීවොන් පීරිස් 81, මියුරු බණ්ඩාර 41, ගෙසඳු බිසස් 37, රෙෂාන් සොලාමන්ස් 33, මෙතුක ගුණරත්න 32, රුසඳ රණසිංහ 24, ගෙසඳු බිසස් 37/3

ගාල්ල – 226/8 (පන්දුවාර 50)
හිරුන් මතීෂ 60, යොමිරු සස්වින් 53, සඳරු මල්ෂාන් 22, මානිත රාජපක්ෂ 20, මෙතුම් ප්‍රනාන්දු 28/3, මහිරු කොඩිතුවක්කු 41/2

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee