ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ප්‍රධාන ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික නලින් අපොන්සු මහතා පැවැසීය.
එළැඹෙන තරගවාරයේ සිට මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලිය, මේජර් විස්සයි20 තරගාවලිය සහ අන්තර් සමාජ ඕවර් 50 එක්දින තරගාවලි යන ආකෘති තුනෙහිම එක් එක් කණ්ඩායම් දක්වන දස්කම් සැලකිල්ලට ගනිමින් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බවත්, ඒ අනුව ටියර් ‘ඒ‘ දක්වා උසස්වීම හා ටියර් ‘බී‘ දක්වා පහත හෙලීමේ නව සැලසුමක් ක්‍රියාත්මකවන බව ඒ මහතා පැවැසීය.
කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පැවැසීය.
“මෙම නව ක්‍රමය යටතේ කණ්ඩායම් 1 සිට 14 දක්වා ශ්‍රේණිගත වෙනවා. මේ ශ්‍රේණිගත කිරීම් හරහා ඒ ඒ කණ්ඩායම්වලට මූල්‍යමය වාසියක් වගේම යම් වටිනාකමක් හිමි වෙනවා. කණ්ඩායම්වලට යම් වටිනාකමක් ලැබුණාම ඔවුන් තරගාවලියට විශාල උනන්දුවකින් සහභාගි වෙනවා. එවිට අන්තර් ක්‍රීඩා සමාජ තරගවල ප්‍රමිතීන් ඉහළ යනවා“ අපොන්සු මහතා පැවැසීය.
නව වැඩ පිළිවෙල යටතේ දේශීය ක්‍රිකට් ක්‍රීඩා කාලසටහන මැයි මස 1 වැනිදා සිට ඊළඟ වසරේ අප්‍රේල් 30 දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
“දේශීය ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කොඳු නාරටියයි. මේ නිසා ක්‍රිකට් ක්‍රීඩාවට අදාල සියලු පාර්ශව කැඳවා පසුගිය වසරේ මැයි මස 8 වැනිදා එක්දින වැඩ මුළුවක් පවත්වා යොජනා මාලාවක් සකසා ගත්තා. ඒ අනුව පොඳු සැලසුමක් අනුව දේශීය ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමට අපි කැපවී සිටිනවා. අප්‍රේල් 6 වැනිදා පැවැත්වෙන ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය සඳහා විශාල ව්‍යුහාත්මක වෙනස්කම් ඉදිරිපත් කර තිබෙනවා. දේශීය ක්‍රිකට් ප්‍රමිතීන් තවදුරටත් වැඩි දියුණු කිරීමට සෑම තරගයකටම නිසි ගෞරවයක් ලබාදිය යුතු ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබෙනවා“ අපොන්සු මහතා පැවැසීය.
නිමාවට පත්වූ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලිය ඉතාම තරගකාරී තත්ත්වයක තිබූ බව අපොන්සු මහතා පෙන්වා දුන්‍නේය.
“අපි සැලසුම් කළේ සියලු තරග මධ්‍යස්ථ ක්‍රීඩාංගණවල පවත් වන්නයි. විශේෂයෙන්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩාංග භාවිතා කිරීමට අපි කටයුතු කළා. මොකද ක්‍රීඩකයින් තමන්‍ගේ මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන පිටිය ඔවුන්ට කලින්ම හුරුකොට තිබිය යුතුයි. තරග සඳහා භාවිතා කරන ස්ථාන 12ක තණතීරු සකස් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිරීක්ෂණය කළා. මේ තත්ත්වය තුල ක්‍රීඩක දක්ෂතා පසුගිය තරග වාරයට වඩා උසස්වී තිබෙනවා“ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපතිවරයා පැවැසීය.
ඔහුගේ අදහස තහවුරු කිරීම සඳහා පසුගිය වාරයේ සහ වත්මන් වාරයේ සංසන්දනාත්මක සංඛ්‍යා ලේඛන මාධ්‍ය හමුවේ ඉදිරිපත් කළේය.
“2024දී ක්‍රීඩා කළ තරග 73කදී ලකුණු 55024ක් ලබා සාමාන්‍ය 753.75ක් වූණා. නමුත් 2025 – 26 නාමාවූ තරග වාරයේ තරග 67කදී ලකුණු 57142ක් වූ අතර, එහි සාමාන්‍ය 852.87ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2024 තරගවාරයේදී වේග පන්දු යවන්නන් විසින් දවාගත් මුළු කඩුලු ප්‍රමාණය 518යි. නමුත් මෙයට දින කිහිපයකට පෙර නිමාවූ තරගාවලියේදී වේග පන්දු යවන්නන් කඩුලු 548ක් දවා ගත්තා. වේග පන්දු යවන්නන් සම්බන්ධයෙන් විශාල දියුණුවක් ඇති වී තිබෙනවා. පිතිකරණයේදී 2024 තරගාවලියේදී ශතක 71යි. මෙවර එය 90 දක්වා වැඩි වුණා. ද්විත්ව ශතක ගණන 5 සිට 8 දක්වා වැඩි වුණා. අර්ධ ශතක 243 සිට 268 දක්වා වැඩිවී තිබෙනවා. මෙයින් පේනවා අපි දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා අර්ථවත් ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කිරීමෙන් හොඳ ප්‍රතිළුල ලැබී ඇති බව“ අපොන්සු මහතා පැවැසීය.
“තරගාවලි කමිටුවේ සිටින අපි සුවිශේෂී ලෙස සතුටු වන්නේ ගුණාත්මක ක්‍රිකට් ක්‍රීඩාවක් දුටු නිසයි. තරගකාරී ස්වභාවයකින් යුක්ත ක්‍රිකට් ක්‍රීඩාවක් අපි අපේක්ෂා කරනවා. අවසන් සති අන්තය වන තෙක් කණ්ඩායම් හතරක් ශූරතාව සඳහා තරග වදිමින් සිටියා. ජයග්‍රාහකයා කවුරුන්ද යන්න කිසිවෙකුට තීරණය කරන්න බැරි තත්ත්වයක සිටියා. අවසානයේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ශූරයන් බවට පත්වුණා” අපොන්සු මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ පවත්වන දේශීය ක්‍රිකට් තරගාවලි සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 1235ක් වැය කිරීමට කටයුතු යොදා ඇත. මෙමඟින් පිරිමි හා කාන්තා සියලු අන්තර් ක්‍රීඩා සමාජ තරග ආවරණය වේ.
ප්‍රධාන පෙළේ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට කණ්ඩායම් 14ක් සහභාගි වන අතර, ඒ සඳහා වාර්ෂිකව වැය කරන මුදල රුපියල් මිලියන 630කි. ටියර් ‘බී‘ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 12ක් අතර පවතින තරගාවලියට රුපියල් මිලියන 300ක් වැය කරන අතර, වාර්ෂිකව සංවිධාන කරන ගවනර්ස් කුසලාන තරගාවලියට මිලියන 125ක් වැය කෙරේ. අන්තර් ක්‍රීඩා සමාජ මේජර් කාන්තා ක්‍රිකට් ශූරතාවලිය සඳහා රුපියල් මිලියන 50ක්ද, කණ්ඩායම් 26ක් සහභාගි වන වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩා සමාජ තරගාවලියට රුපියල් මිලියන 130ක් වැය කිරීමට ද ඇස්තමේන්තුගත කොට ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් වැය කරන මේ දැවැන්ත මුදලින් ක්‍රීඩක ගාස්තු, තරග ගාස්තු, ක්‍රීඩා සමාජ පරිපාලන වියදම් ආදියට මුදල් යෙදවීම් සිදු වේ. මාධ්‍ය හමුව අවසානයේ මෙවර නිමාවට පත්වූ මේජර් තුන්දින ක්‍රිකට් තරගාවලියේ හා ටියර් ‘බී‘ තුන්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයින්ට ජය සංකේත ප්‍රදානය කිරීම සිදු විය.
මෙවර මේජර් තුන්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් කෝල්ට්ස් ක්‍රිකට් පිලට ශූරතාව සමඟ රුපියල් ලක්ෂ 35ක්, අනුශූර ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයට අනු ශූරතාව සමඟ රුපියල් ලක්ෂ 25ක්, හොදම පිතිකරු එන්සීසී පිලේ ළහිරු උදාරට කුසලානය සමඟ රුපියල් ලක්ෂ 10ක්, හොදම පන්දු යවන්නා පොලිස් ක්‍රීඩා සමාජයේ දිලුම් සුධීරට කුසලානය සමඟ රුපියල් ලක්ෂ 10ක්, තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වූ ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ වනුජ සහන් ට කුසලානය සමඟ රුපියල් ලක්ෂ 15ක් පිරිනැමුණි.
ටියර් ‘බී‘ තුන්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් එස්එස්සී පිලට ශූරතාව සමඟ රුපියල් ලක්ෂ 15ක්, අනුශූර මීගමුව ක්‍රිකට් සමාජයට අනු ශූරතාව සමඟ රුපියල් ලක්ෂ 10ක්, හොදම පිතිකරු එස්එස්සී පිලේ නිපුන් ධනංජයට කුසලානය සමඟ රුපියල් ලක්ෂ 5ක්, හොදම පන්දු යවන්නා ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිලංක අවුවෝඩ්ට කුසලානය සමඟ රුපියල් ලක්ෂ 5ක් හා තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙහඳ සොයිසා ට කුසලානය සමඟ රුපියල් ලක්ෂ 7.5ක් පිරිනැමුණි.
මේ මාධ්‍ය හමුවට හා තිළිණ ප්‍රදානයට ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න, තරගාවලි කමිටු ලේකම් කසුන් ප්‍රනාන්දු, තරගාවලි කමිටු සාමාජිකයින් වන මාලන් ප්‍රනාන්දුපුල්ලේ හා ඩිලාන් පොලොන්නොවිට යන මහත්වරු සහභාගි වූහ.





