slc
logo
Home   |    News
අප්‍රේල් 19, 2026
පළමු නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් ‍තොරයි

sinhala editor

සංචාරක නවසීලන්ත ‘ඒ‘ පිල හා ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අතර පැවැති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් විය. හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ(19 දා) නිමාවූ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

කාසියේ වාසිය දිනා පළමු ඉනිමට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සියලු ‍දෙනා දැවී ලකුණු 381ක් රැස්කළ අතර, නවසීලන්ත ‘ඒ‘ පිල පලමු ඉනිමට ලකුණු 479ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පිල තරගය නතරකරද්දී කඩුලු 4ක් දැවී ලකුණු 168ක් ලබා සිටියේය.

නවසීලන්ත පළමු ඉනිම ශතක දෙකකින් හා අර්ධ ශතකයකින් හැඩ ගැන්වූ අතර, ආරම්භක පිතිකරු කර්ටිස් හෙයාපී හා අංක තුන පිතිකරු ටිම් රොබින්සන් එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 437කදී ලකුණු 218ක දීර්ඝ සබඳතාවක් ගොඩනැගුණි. කර්ටිස් හෙයාපී පන්දු 370කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 370ක් හා ටිම් රොබින්සන් පන්දු 229කදී හතරේ පහර 13ක් සමඟ ලකුණු 130ක් එක් කළහ.

එමෙන්ම අවසන් කඩුල්ලට ෆ්‍රාසර් ෂියට් හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ පන්දු 60කදී වේගවත් නොදැවී ලකුණු 61ක් එක් කිරීමෙන් ලකුණු පුවරුව ඉහළ ගියේය. ෆ්‍රාසර් ෂියට් හා ජැරොඩ් මැකී අවසන් කඩුල්ලට පන්දු 77කදී ලකුණු 74ක් එක් කළ අතර, මැකී ලකුණු 7කට දැවී යෑ‍මන් ඉනිම නිමා විය. සොනාල් දීනූෂ, ඉසිත් විජේසුන්දර හා රොමේෂ් මෙන්ඩිස් කඩුලු දෙක බැගින් බිදහෙලා ගත්හ.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වර්ෂාව හේතුවෙන් ඕවර් 24.4කට සීමාවූ අතර,  ළහිරු උදාර ලකුණු 39කට හා නිශාන් මධුෂ්ක ලකුණු 25කට දැවී ගියහ. එම කඩුලු දෙකම පළමු ඉනිමේදී කඩුලු 3ක් දවාගත් ටිම් ප්‍රින්ගල් සතු විය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ආරම්භක පිතිකරු ළහිරු උදාර අර්ධ ශතකයක් වාර්තා කළ අතර, අංක 6 පිතිකරු සොනාල් දිනූෂ පන්දු 148කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමඟ ලකුණු 108ක් වාර්තා කළේය. සොනාල් දිනූෂ හා රමේෂ් මෙන්ඩිස් අතර 6 වැනි කඩුල්ලට පන්දු 137කදී ලකුණු 102ක සබඳතාවක් ගොඩනැගුණු අතර, සොනාල් දීනූෂ හා ඉසිත් විජේසුන්දර අතර අතර 8 වැනි කඩුල්ලට පන්දු 87කදී ලකුණු 58ක් ගොඩනැගුණි.

දෙරට අතර දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගය හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මේ 23 වැනිදා ආරම්භ වේ.

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිම සියලු ‍දෙනා දැවී ලකුණු 381 (ඕවර් 97.5)

නිශාන් මධුෂ්ක 20, ළහිරු උදාර 61, නුවනිඳු ප්‍රනාන්දු 21, පවන් රත්නායක 27, පසිඳු සූරියබණ්ඩාර 32, සොනාල් දීනූෂ 108, රමේෂ් මෙන්ඩිස් 48, ඉසිත් විජේසුන්දර 36 (රයන් හැරිසන් 60/2, ටිම් ප්‍රින්ගල් 88/3, පීටර් යංග්ස්බන්ඩ් 97/2)

නවසීලන්ත ‘ඒ‘ පිල පළමු ඉනිම සියලු ‍දෙනා දැවී ලකුණු 479 (ඕවර් 153.4)

කර්ටිස් හෙයාපී 162, ටිම් රොබින්සන් 130, මැතිව් බොයිල් 26, මිචෙල් ‍හේ 33,  ෆ්‍රාසර් ෂියට් නොදැවී 61 (සොනාල් දීනූෂ 72/2, ඉසිත් විජේසුන්දර 56/2, රොමේෂ් මෙන්ඩිස් 105/2)

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 168 (ඕවර් 49)

නිශාන් මධුෂ්ක 25, ළහිරු උදාර 39, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 50, පසිඳු සූරියබණ්ඩාර 20 (ටිම් ප්‍රින්ගල් 50/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee