ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ වැනි දුෂ්කර පළාතක සිට ජාතික කණ්ඩායමට එක්වීමට කලක් තිස්සේ මිතාලි අයෝධ්‍යා සිහින දුටුවාය. ඒ සිහිනය සැබෑවක් වන්නේද යන දෙගිඩියාවෙන් පසුවූ ඇයට ක්‍රිකට් තේරීම් කමිටුවෙන් හදිසියේම ඇමැතුමක් ලැබුණි. “බංග්ලාදේශයට යන කාන්තා ක්‍රිකට් සංචිතයට ඔබව තෝරා ගෙන තිබෙනවා. පුහුණුවට කොළඹ එන්න“ මිතාලි අයෝධ්‍යාගේ නිම්හිම් නැති සතුට දෝරේ ගලා යන්නට වූවාය.
“එවැනි සිහින දකින දියණින් බොහෝ දෙනකුට ශ්‍රී ලංකා ක්‍රිකට් රටපුරා ක්‍රියාත්මක කරන ක්‍රිකට් ගමට ජාතික සංවර්ධන ගමන් මඟ වැඩ පිළිවෙල අද තෝතැන්නක් වෙලා“.
ශ්‍රී ලංකා කාන්තා පිලට අළුතින්ම එක්වූ වේග පන්දු යවන ක්‍රීඩිකා මිතාලි අයෝධ්‍යා. මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 19න් පහළ ශ්‍රී ලංකා බාලිකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවන් 15 දෙනාගෙන් 12ක්ම කොළඹින් පිට පළාත්වල ක්‍රීඩිකාවන් වූ පසුබිමක මිතාලි අයෝධ්‍යා ජාතික කණ්ඩායමට පිවිසීම කැපී පෙණෙන සිඳුවීමකි. එමෙන්ම 19න් පහළ කණ්ඩායමේ නායිකාව ද මොනරාගල පඤ්ඤානන්ද විදුහලෙන් බිහි වූ 16 හැවිරිදි චමුදි ප්‍රබෝධා වීම, කොළඹින් පිට ප්‍රදේශවල දක්ෂයින්ට බාධාවකින් තොරව ජාතික තලයේ ප්රමුඛස්ථානයක් ලබාගත හැකි බවට හොඳම උදාහරණයක්.
“ මම මෙතනට ආවේ මුලින්ම සැහැල්ලු පන්දු ක්‍රීඩා කරලා. ඊට පස්සේ ටේප් බෝල් ක්‍රීඩාව කළා. ඊට පස්සේ තමයි හාඩ් බෝල් ක්‍රීඩා කළේ. මගේ මුල්ම පාසල ත්‍රිකුණාමලය රජ ඇල විද්‍යාලය. අනතුරුව අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා මම කන්තලේ මහා විද්‍යාලයට ඇතුල් වුණා. එතැනදී හාඩ් බෝල් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ. ඊට පස්සේ දිස්ත්‍රික් තරගවලින් 19න් පහළ කණ්ඩායමට ආවා. පළාත් තරගවලට ක්‍රීඩා කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රට පුරා දක්ෂයින්ට නැගී එන්න හොඳ ක්‍රමයක් හදා තිබීම පිළිබඳ සතුටු වෙනවා“ තවමත් වයස 19ක් වූ මිතාලි අයෝධ්‍යා පැවැසූවාය.
“මම කාන්තා ‘ඒ‘ ටීම් එකත් සමඟ නැගීඑන ආසියා කුසලාන තරගාවලියට ගියා. ගොඩක් සතුටුයි. පන්දු යැවීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. පුහුණුකරුවන් හා මව්පියන් හොඳ සහයෝගයක් දෙනවා. ඔවුන් මට තරගවලදී කළ යුතු දේ පිළිබඳ හොඳ අවබෝධයක් දෙනවා. ලසිත් මාලිංග සර්ව මට තවම මුණ ගැහිලා නෑ. ඔහු මුණ ගැහුණොත් දැන ගන්න ආසයි මගේ පන්දු යැවීමේ ඉරියව්වත් එක්ක තවත් මම මොනවා කළ යුතුයිද කියා“ මිතාලි අයෝධ්‍යා පැවැසූවාය.





