slc
logo
Home   |    News
මැයි 11, 2026
නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට එරෙහි තරගාවලියට “හොඳ සූදානමකින් ඉන්නවා” – නායිකා සත්‍යා සංදීපනී

sinhala editor

නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය හෙට (12දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර එම තරගාවලිය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමේ නායිකා සත්‍යා සංදීපනී සඳහන් කළේ තම කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බවයි.

“අපි පුහුණුවීම් හොඳින් කරලා තියෙනවා. තරග රටාවටත් හොඳින් සූදානම් වෙලා ඉන්නවා. නවසීලන්ත කණ්ඩායම ගැනත් විශ්ලේෂණය කරලා තමයි අපි පිටියට යන්නේ“, යැයි ඇය පැවසුවාය.

මෙම තරගාවලිය ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා ක්‍රීඩිකාවන් සූදානම් කිරීමේ වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ. විශේෂයෙන් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමේ තරුණ ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග පීඩනය, වේගය සහ තරගකාරීත්වය අත්විඳීමට මෙය වටිනා අවස්ථාවක් වනු ඇත.

නවසීලන්ත කණ්ඩායමේ අත්දැකීම් සපිරි ක්‍රීඩිකාවන් පිළිබඳව අදහස් දැක්වූ සත්‍යා සංදීපනී, “අත්දැකීම් සපිරි ක්‍රීඩිකාවන් රැසක් ඔවුන්ගේ කණ්ඩායමේ සිටිනවා. ජාත්‍යන්තර තරග 50කට වැඩියෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩිකාවකුත් ඉන්නවා. ඒක ලොකු අභියෝගයක්. ඒ අත්දැකීම් එක්ක අපිත් හොඳින් සූදානම් වෙලා තියෙනවා“, යැයි සඳහන් කළාය.

ජෙස් වොට්කින්ගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායමේ වැඩිම අත්දැකීම් සම්භාරයක් ඇති ක්‍රීඩිකාව වන්නේ හනා රෝව් වේ. ඇය එක්දින ජාත්‍යන්තර තරග 60 කදී සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 47 කදී නවසීලන්ත පිල නියෝජනය කර තිබේ. ඇයට අමතරව සංචිතයේ පසුවන වැඩිම අත්දැකීම් සහිත ක්‍රීඩිකාව වන්නේ ෆ්‍රාන් ජොනාස්ය. ඇය එක්දින තරග 26 ක් සහ විස්සයි-20 තරග 39 ක් වෙනුවෙන් නවසීලන්ත පිල නියෝජනය කර තිබේ.

මෙවර ශ්‍රී ලංකා සංචිතයට අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුද ඇතුළත් කර තිබේ. ඒ පිළිබඳව අදහස් දැක්වූ නායිකාව, “ඒ නංගිලා ඉතා දක්ෂයි. මේ තරගාවලිය ඔවුන්ට ලොකු අත්දැකීමක්. ඉදිරියේදී යොවුන් ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නත් ඔවුන්ට අවස්ථාව තියෙනවා. ඒ සඳහා මේ තරගාවලිය හොඳ පදනමක් වේවි“, යනුවෙන් පැවසුවාය.

මෙවර සංචිතයට තේරී පත්ව ඇති මන්නාරම් දිස්ත්‍රික්කයේ පේසාලෙයි ප්‍රදේශයේ වේග පන්දු යවන්නියක වන සතීෂ්කුමාර් සජින්තිනි පිළිබඳවද සත්‍යා සංදීපනී විශේෂයෙන් අදහස් පළ කළාය.

“සජින්තිනි ටැමිල් ගර්ල් කෙනෙක්. ඇය මන්නාරමේ ඉඳලා එන්නේ. කාලෙකට පස්සේ තමයි ඒ වගේ කෙනෙක් මේ වගේ සංචිතයකට තේරෙන්නේ. වේග පන්දු යවන්නියක් විදියට ඇය හොඳ දක්ෂතා දක්වමින් සිටිනවා“, යැයි ඇය සඳහන් කළාය.

මෙවැනි තරගාවලි සඳහා දිගින් දිගටම අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිය පළ කළ සත්‍යා සංදීපනී, “මට වගේම මේ කණ්ඩායමේ ඉන්න නංගිලාටත් මේක ලොකු අත්දැකීමක්. අපි නවසීලන්ත කණ්ඩායමට හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා“, යැයි වැඩිදුරටත් පැවසුවාය.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar