slc
logo
Home   |    News
මැයි 7, 2026
පළමු NSL ශූරතාව  සොයන කොළඹ කඩුලු 6ක් අතැතිව තවත් ලකුණු 145ක් පසුපසින්

sinhala editor

කොයි මොහොතේ ක්‍රීඩාංගණයට වර්ෂාව කඩා වදීවිදැයි කාටවත් අනුමාන කළ නොහැකි වාතාවරණයකින් ආරම්භ වූ නැෂනල් සුපර් ලීග් (NSL) සිව්දින අවසන් මහ තරගය, තෙවැනි දිනය අවසන් වන විට උණුසුම් සහ සම්පූර්ණයෙන්ම විවෘත සටනක් බවට පත්වී ඇත. වළාකුළින් බරිත වූ කාලගුණික තත්ත්වයක් පැවැති පළමු දින දෙක තුළදී  උපරිම වාසිය ලබාගත් දඹුල්ල පන්දු යවන්නෝ කොළඹ පිලට දැඩි පීඩනයක් එල්ල කළ නමුත්, හිරු කිරණ දැඩිව පතිත වූ තෙවැනි දිනය වූ අද (06 දා) තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කර ගැනීමට කොළඹ පිතිකරුවෝ සමත්වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පස්වැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය වන මෙම තරගයේදී සූර්යාලෝකය දැඩි ලෙස ක්‍රීඩාංගණයට පතිත වූ අද දිනයේදී සිය පටි තද කරගත් කොළඹ පිතිකරුවෝ, එතෙක් දඹුල්ලට වාසිදායකව පැවති තරගය නැවත දෙපිළටම විවෘත සටනක් බවට පත් කළේ කඩුලු 4 කට ලකුණු 154 ක් රැස් කරමිනි.

දඹුල්ල පිලේ අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි අකිල ධනංජය පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟ නොදැවී ලකුණු 53ක් ලබා ගැනීමත් සමඟ දඹුල්ලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 222 ක් රැස් කර ගැනීමට හැකියාව ලැබිණ. දඹුල්ල පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 222ට පිළිතුරු ලෙස කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 146කට සීමාවීම හේතුවෙන් දඹුල්ලට පළමු ඉනිමේදී ලකුණු 76ක වාසියක් හිමිවිය.

මේ හේතුව මත කොළඹ පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 299 ක ඉලක්කයක් හිමිවූ අතර තරයේ සිව්වැනි සහ අවසන් දිනය වන හෙට (07 දා) දිනයේදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන්නේ ලකුණු 145 ක් පමණක් වන අතර ඒ සදහා ඔවුන් අත තවත් කඩුලු 6ක් ඉතිරිව තිබේ.

කොළඹ දෙවැනි ඉනිම වෙනුවෙන් ඉතාමත් වටිනා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ධනංජය ලක්ෂාන් ලකුණු 84ක් ලබාගත් අතර, ඔහුට සවියක් වූ චරිත් අසලංක නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් තරගය අවසන් වන තෙක්ම තම කඩුල්ල ආරක්ෂා කරගෙන සිටියේ ලකුණු 29 ක් ලබා ගනිමිනි.

අනෙක් ආරම්භක පිතිකරුවා වූ රවිඳු රසාන්තව ලකුණු 07 කට දවා ගැනීමට කවිඳු පතිරත්න සමත් වුවත්, දෙවැනි කඩුල්ලට ධනංජය ලක්ෂාන් එක් වූ නුවනිඳු ප්‍රනාන්දු (23) දෙවැනි කඩුල්ලට ලකුණු 65 ක් රැස් කළහ. ජනිත් ලියනගේද ලකුණු 5 ක් ලබා සිටියදී දැවී ගිය නමුත් ධනංජය ලක්ෂාන් එක් වූ නායක චරිත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක් රැස් කරමින් කොළඹ පිල ස්ථාවරත්වයකට රැගෙන ආහ.

තරගය නිමා වීමට පන්දු කීපයක් තිබියදී ධනංජය ලක්ෂාන්ව දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත්වීමත් සමඟම තෙවැනි දිනට තරගය නතර කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

තවමත් ශූරතාවක් දිනා නැති කොළඹ පිල ශූරතාව සොයා ප්‍රබල සටනකට අවතීර්ණවී සිටින අතර, පසුගියවර අනුශූර දඹුල්ල පිල මෙවර ශූරතාව පිළිබඳ විශාල බලාපොරොත්තු රඳවා හෙට අවසන් දිනයේ පිටියට පිවිසේ.

තම 100 වැනි පළමු පෙළ තරගයට ක්‍රීඩා කරන තුන් ඉරියව් ක්‍රීඩක අකිල ධනංජය පළමු පෙළ 6 වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර, ඕවර් 28කදී පන්දුවට පහර දෙමින් සිටියේය. අකිල ධනංජය හා අංජල බණාඩ්ර 8 වැනි කඩුල්ලට පන්දු 89කදී ලකුණු 45ක් එක්කළ අතර, අකිල හා නිසල අබේරත්න එක්ව අවසන් කඩුල්ලට පන්දු 64කදී ලකුණු 40ක් එක් කිරීම කැපී පෙණුනි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ‍යේදී ඊයේ දෙවැනි දිනට තරගය නතර කරද්දී ‍දෙවැනි ඉනිම ක්‍රීඩා කරන දඹුල්ල පිල ‍කඩුලු 6ක් දැවී ලකුණු 107ක් ලබා සිටි අතර, අද දිනයේ තවත් ලකුණු 115ක් එක් විය. දඹුල්ල පිලේ පළමු කඩුලු දෙක ලකුණු 73ක් තුල දැවී‍ගොස් තිබුණද ඉතිරි කඩුලු 4 ලකුණු 24ක් තුල දවා ගැනීමට කොළඹ පිල සමත් විය.  අංජල බණ්ඩාර ලකුණු 32ක් හා කවිඳු පතිරත්න ලකුණු 17ක් එක් කළහ.

පන්දු යැවීමේදී මඳ වේග පන්දු යවන චමෝද් බැට්ටගේ ලකුණු 55කට කඩුලු 4ක් බිඳ හෙලීමට සමත්වූ අතර, ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් හා ප්‍රමෝද් මධුෂාන් කඩුලු 2ක් බිදහෙළූහ.

‍හෙට (7) තරගයේ ‍අවසන් දිනයයි.

දඹුල්ල පිල පළමු ඉනිම කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 222 (ඕවර් 70)

ලසිත් කෘස්පුල්ලේ 16, ධනංජය ද සිල්වා 15, පවන් රත්නායක 39, විශාද් රන්දික 23, සොනාල් දිනූෂ 51, අංජල බණ්ඩාර 40 ( ප්‍රමෝද් මධුෂාන් 39/1, ධනංජය ලක්ෂාන් 42/2, ජනිත් ලියනගේ 18/2, ප්‍රභාත් ජයසූරිය 54/4 )

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 146 (ඕවර් 44.3)

ප්‍රභාත් ජයසූරිය 19, සාරුජාන් ෂන්මගනාදන් 44, චරිත් අසලංක 27, කවීජ ගමගේ 25, දුෂාන් හේමන්ත 14 (කවිඳු පතිරත්න 51/5, අකිල ධනංජය 17/3)

දඹුල්ල පිල දෙවැනි ඉනිම  සියලු දෙනා දැවී ලකුණු 222 (ඕවර් 71.4)

විෂාද් රන්දික 21, නිශාන් මධුෂ්ක 43, ලසිත් කෘස්පුල්ලේ 14, ධනංජය ද සිල්වා 5, සොනාල් දිනූෂ 12, අංජල බණ්ඩාර 32,  කවිඳු පතිරත්න 17, අකිල ධනංජය නොදැවී 53, නිසල අබේරත්න නොදැවී 9 (ප්‍රමෝද් මධුෂාන් 48/2, ජනිත් ලියනගේ 47/1, ප්‍රභාත් ජයසූරිය 16/3, චමෝද් බැට්ටගේ 55/4)

කොළඹ පිල දෙවැනි ඉනිම කඩුලු 4ක්  දැවී ලකුණු 154 (ඕවර් 39.4)

ධනංජය ලක්ෂාන් 84, නුවනිඳු ප්‍රනාන්දු 23, චරිත් අසලංක නොදැවී 29 (කවිඳු පතිරත්න  37/1, අකිල ධනංජය 59/1, ‍මොහොමඩ් සිරාස් 26/1, ධනංජය ද සිල්වා 0/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee