slc
logo
Home   |    News
ජූනි 21, 2026
ශ්‍රී ලංකා කාන්තා පිල කොදෙව් පිල හමුවේ කඩුලු 5ක පරාජයක් ලබයි

sinhala editor

පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර පැවැති පන්දුවාර 20 තරගයෙන් කඩුලු 5 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (21 දා) සිදුවිය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිලට පන්දුවාර 20 සම්පූර්ණ කිරීමටත් නොහැකි වූ අතර, පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 98ක් පමණි. එහිදී නිලක්ෂිකා සිල්වා ලකුණු 30ක් ලබා ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, කවිශා දිල්හාරි ලකුණු 21ක් සහ ඉමේෂා දුලානි ලකුණු 17ක් එක් කලහ. කාව්‍යා කාවිඳි ද ලකුණු 17ක් ලබා කණ්ඩායමට යම් දායකත්වයක් ලබා දුන්නාය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදීම දැඩි පීඩනයකට ලක් වූ අතර, විශ්මි ගුණරත්න, නායිකා චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යාමෙන් ඉනිම මුල් අදියරේදීම කඩාවැටුණි. ඒ හේතුවෙන් මැදපෙළ පිතිකාරිනියන්ට වගකීම භාරගැනීමට සිදු වූවත්, සාර්ථකව විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ශ්‍රී ලංකාවට නොහැකි විය.

කොදෙව් පන්දු යවන්නියන් අතර නායිකා හේලි මැතිව්ස් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 15කට කඩුලු 3ක් දවා ගත්තාය. කරිෂ්මා රම්හරැක් කඩුලු 2ක් දවා ගත් අතර, චිනෙල් හෙන්රි, අෆී ෆ්ලෙචර්, අශ්මිනි මුනිසාර් සහ ආලියා ඇලීන් එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

ලකුණු 99ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල පන්දුවාර 16.1කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 99ක් ලබා ජය වාර්තා කළේය. ස්ටෙෆනි ටේලර් නොදැවී ලකුණු 27ක් ලබා ඉනිම ලබාගත් අතර, නායිකා හේලි මැතිව්ස් ලකුණු 17ක් සහ ඩීආන්ඩ්‍රා ඩොටින් ලකුණු 12ක් එක් කළහ. අවසානයේ ජැනිලියා ග්ලාස්ගෝ නොදැවී ලකුණු 10ක් ලබා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියාය.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතර කවිශා දිල්හාරි කඩුලු 2ක් දවා ගත් අතර, නිමාෂා මීපගේ සහ චමරි අතපත්තු එක් කඩුල්ල බැගින් දවා ගත්හ. කෙසේ වෙතත්, මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ පරාජයට ප්‍රධාන හේතුවක් වූයේ පන්දු රැකීමේ දුර්වලතා සහ අමතර ලකුණු පාලනය කර ගැනීමට නොහැකි වීමයි.

කොදෙව් ඉනිම අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ලකුණු 23ක් ලබාදුන් අතර, ඒ අතර වයිඩ් පන්දු 13ක්ද ඇතුළත් විය. එමෙන්ම පිටියේදී ලබාගත හැකි අවස්ථා කිහිපයක්ම අත්හැර දැමීම, දුර්වල දුවද්දී දැවී යාම් දෙකක් සහ පළමු ඉනිමේ අවසාන අදියරේදී අතපසු වූ ස්ටම්පිං අවස්ථාවක් ද ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ පාලනය ගිලිහී යාමට හේතු විය. එම අත්වැරදීම් සමූහය ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ රිද්මයෙන් ඉවතට තල්ලු කළ බව පැහැදිලි විය.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස හේලි මැතිව්ස් නම් කෙරුණු අතර, ඇය ලකුණු 17ක් රැස් කිරීමට අමතරව පන්දු යැවීමේදී කඩුලු 3ක් දවා කොදෙව් ජයග්‍රහණයේ මූලික ශක්තිය බවට පත්වූවාය.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී ලකුණු 98 යි – (නිලක්ෂිකා සිල්වා 30, කවිශා දිල්හාරි 21, ඉමේෂා දුලානි 17, කාව්‍යා කාවිඳි 17, හේලි මැතිව්ස් 15/3, කරිෂ්මා රම්හරැක් 15/2)

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල පන්දුවාර 16.1කදී කඩුලු 5ක් දැවී ලකුණු 99 යි –  (ස්ටෙෆනි ටේලර් 27*, හේලි මැතිව්ස් 17, ඩීආන්ඩ්‍රා ඩොටින් 12, කවිශා දිල්හාරි 22/2)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee