slc
logo
Home   |    News
ජූනි 17, 2026
ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන්ට ඉනිමක හා ලකුණු 216ක දැවැන්ත ජයක්

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි සිව්දින ක්‍රිකට් තරගය අද (17) නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 216ක විශිෂ්ට ජයක් වාර්තා කරමිනි. තරගයේ තවත් සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීම මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි පිල ලකුණු 231කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ශතකයක් අභියස දැවී ගිය ෂැක්කෙරේ පැරිස් ලකුණු 99ක් රැස් කළ අතර නායක රිවල්ඩෝ ක්ලාක් ලකුණු 57ක් ලබා ගත්තේය. කෙසේ වෙතත් අනෙක් පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පාලනයට යටත්වීම හේතුවෙන් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට කොදෙව් පිලට නොහැකි විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමෝද් බට්ටගේ ලකුණු 51කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතර නිසල අබේරත්න සහ ශක්ති උදාර කඩුලු 2 බැගින් දවා ගත්හ.

ලකුණු 231කට පිළිතුරු ලෙස පිටියට පිවිසි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පිතිකරුවෝ කොදෙව් පන්දු යවන්නන් දැඩි පීඩනයකට ලක් කරමින් දැවැන්ත ලකුණු 553/5ක් රැස් කර ඉනිම අත්හිටුවූහ. ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රධානතම දස්කම වාර්තා කළේ ආරම්භක පිතිකරු පුලින්දු පෙරේරාය. ඔහු හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 145ක් රැස් කළේය.

මැදපෙළ පිතිකරු අංජල බණ්ඩාර නොදැවී ලකුණු 105ක් ලබා ගනිමින් සිය විශිෂ්ට පිතිකරණ රිද්මය තවදුරටත් පවත්වාගෙන ගියේය. මෙම ශතකය ඔහු මෙවර තරගාවලියේ පිට පිටම වාර්තා කළ තෙවැනි ශතකය වීම විශේෂත්වයකි. මීට පෙර පැවැති පළමු තරගයේ පළමු ඉනිමේදී ලකුණු 163ක් සහ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 189ක් රැස් කළ ඔහු මේ වන විට තරගාවලියේ සාර්ථකම පිතිකරුවෙකු බවට පත්ව සිටී. තරග දෙකක ඉනිම් තුනකදී ශතක තුනක් වාර්තා කරමින් ඔහු ජාතික තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට ද සමත් වී ඇත.

අංජලට අමතරව රවිඳු රසාන්ත (60), අසිත වන්නිනායක (60) සහ ශාරුජන් ශන්මුගනාදන් (74) අර්ධ ශතක ලබා ගත් අතර සහන් කොසල ලකුණු 38ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන ලක්ෂණය වූයේ පළමු පිතිකරුවන් පස් දෙනාම ලකුණු 38ට වැඩි දායකත්වයක් ලබා දීමයි.

ලකුණු 322ක දැවැන්ත පසුබැසීමක් සහිතව දෙවැනි ඉනිම ආරම්භ කළ කොදෙව් ඇකඩමි කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ සාර්ථකව සටන් වැදීමට නොහැකි විය. ඔවුන්ගේ දෙවැනි ඉනිම පන්දුවාර 29.5කදී ලකුණු 106කට සීමා වූ අතර ෂැක්කෙරේ පැරිස් (28) සහ ඩැමෙල් එව්ලින් (26) පමණක් යම් ප්‍රතිරෝධයක් දැක්වූහ.

මෙහිදී අසිත වන්නිනායක කෙටි පන්දු වාර සංඛ්‍යාවක් තුළ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 5කට කඩුලු 4ක් දවා ගත්තේය. ශක්ති උදාර කඩුලු 3ක් සහ මිහිරංග සිල්වා කඩුලු 2ක් දවා ගනිමින් කොදෙව් ඉනිම ඉක්මනින් අවසන් කිරීමට දායක වූහ.

තරග 2 කින් සමන්විත දෙපිළ අතර සමස්ථ තරගාවලියේ පළමු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර මෙම තරගයෙන් ශ්‍රි ලංකා නැගි එන කණ්ඩායම ජය අත්කරගත්තේය. එබැවින් තරගාවලියේ ජයද 1-0 ක් ලෙස සත්කාරක ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම දිනාගත්තේය. පළමු තරගයේ වීරයා ලෙසින් එම තරගයේ ශතක ලාභී අංජල බණ්ඩාර සම්මාන දිනාගත් අතර දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 145 ක් ලද පුළිඳු පෙරේරා දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීය

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 67.5 කදී සියලු දෙනා දැවී ලකුණු 231 යි – (ෂැක්කෙරේ පැරිස් 99, රිවල්ඩෝ ක්ලාක් 57, නේතන් එඩ්වඩ් 28, චමෝද් බට්ටගේ 51/4, නිසල තාරක 38/2, ශක්ති උදාර 61/2)

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 122 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 553 යි – (පුලිඳු පෙරේරා 145, රවිඳු රසාන්ත 60, අසිත වන්නිනායක 60, සහන් කෝසල 38, ශාරුජන් ශන්මුගනාදන් 74, අංජල බණ්ඩාර 105*, දිනුර කලුපහන 18*, සිෂාන් මෝටාර්ස් 101/2, රැනිකෝ ස්මිත් 69/1, ග්ලොවන්ටේ ඩිපෙයිසා 76/1, ජොහාන් ලයින් 71/1)

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩම් කණ්ඩායම දෙවැනි ඉනිම පන්දුවාර 29.5 කදී සියලු දෙනා දැවී ලකුණු 105 යි – (ශාක්කෙර් පැරිස් 28, ඩමෙල් එව්ලින් 26, අසිත වන්නිනායක 05/4, ශක්ති උදාර 25/3, මිහිරංග සිල්වා 24/2, චමෝද් බට්ටගේ 17/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

USD United States (US) dollar