slc
logo
Home   |    News
ජූනි 3, 2026
ගවනර්ස් කුසලාන අවසන් සටනට සැරසන්ස් සහ සඳලංකා සුදුසුකම් ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ගවනර්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (03) පැවති අවසන් පූර්ව තරගවලදී ජය වාර්තා කළ සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ සඳලංකා ක්‍රීඩා සමාජය, එළැඹෙන ජුනි 05 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්හ.

වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගවලදී, ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කළ සැරසන්ස් ක්‍රීඩා සමාජයත්, ලන්කන් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 8ක තියුණු ජයක් හිමිකරගත් සඳලංකා ක්‍රීඩා සමාජයත් අවසන් තරග වරම දිනා ගත්හ.

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවති ඕල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමට එරෙහි තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 42කට සීමා කෙරිණි. පළමුව පන්දුවට පහර දුන් ඕල්ඩ් ධර්මපාලියන්ස් පිල ඩිල්ෂාන් මෙන්ඩිස් ප්‍රමුඛ ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ කඩුලු 9ක් දැවී ලකුණු 171ක් රැස් කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සැරසන්ස් කණ්ඩායමට ඉදිරි පෙළ පිතිකරුවන් වූ ජනක සම්පත් (68), අනුෂ්ක පෙරේරා (18) සහ ශිහාන් ප්‍රනාන්දු (21) සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. පළමු කඩුල්ල අනුෂ්ක සමඟ ලකුණු 31ක සබඳතාවක් ගොඩනැගූ ජනක, අනතුරුව ශිහාන් සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක් එක් කරමින් ජයග්‍රහණයට අවශ්‍ය ශක්තිමත් පදනම සකස් කළහ.

එම ආරම්භය මත සැරසන්ස් කණ්ඩායම පන්දුවාර 34.2ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 176ක් ලබා ඉලක්කය සාර්ථකව පසු කළේය.

පන්දු 92කට මුහුණ දුන් ජනක සම්පත් සිය ඉනිම හයේ පහරක් සහ හතරේ පහර 5කින් වර්ණවත් කළේය. මේ අතර, ඕල්ඩ් ධර්මපාලියන්ස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට විශිෂ්ට දායකත්වයක් දැක්වූ ඩිල්ෂාන් මෙන්ඩිස් පන්දුවාර 9ක් යවා ලකුණු 22කට කඩුලු 4ක් දවා ගත්තේය.

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවති අනෙක් අවසන් පූර්ව තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සඳලංකා ක්‍රීඩා සමාජය පන්දුවාර 48.2කදී සියලු දෙනා දැවී ලකුණු 152ක් රැස් කළේය.

ලන්කන් ක්‍රීඩා සමාජයේ ඉනිම අතරතුර වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම හේතුවෙන් ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව ඉලක්කය පන්දුවාර 28කදී ලකුණු 122ක් ලෙස සංශෝධනය කෙරිණි.

කෙසේ වෙතත්, ලන්කන් ක්‍රීඩා සමාජයට නියමිත පන්දුවාර 28 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 113ක් පමණක් බැවින්, ලකුණු 8ක ජයක් සමඟ සඳලංකා ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට පිවිසියේය.

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී

සඳලංකා ක්‍රීඩා සමාජයට ලකුණු 8ක ජයක්

සඳලංකා ක්‍රීඩා සමාජය – පන්දුවාර 48.2කදී සියලු දෙනා දැවී ලකුණු 152 යි

(හසිඳු පෙරේරා 51, අමිල උදයංක 11, චතුමල් නිමේෂ් 14, අබිෂේක් ආනන්දකුමාර 13, සුලේක රණසිංහ 28, පසිදු උෂේටි 13*, පැතුම් සමින්ද 35/2, සිනෙත් දිසානායක 26/2, ඉසුරු කවීෂාන් 28/2, මංගල ප්‍රදීප් 18/3)

ලන්කන් ක්‍රීඩා සමාජය – පන්දුවාර 28කදී කඩුලු 9ක් දැවී ලකුණු 113 යි

(තෙවින් අමරසිංහ 18, තේනුක ප්‍රවීන් 19, පැතුම් මෙන්ඩිස් 39, හිම්සර රන්දෙණිය 10, චනුර ප්‍රනාන්දු 22/2, පසිදු උෂේටි 13/2)

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී

සැරසන්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 5ක ජයක්

ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය – පන්දුවාර 42කදී කඩුලු 9ක් දැවී ලකුණු 171 යි

(නිකිල් අබිලාෂ් 39, අශාන් උදාර 32, විරංග යේෂාන් 22, මොහොමඩ් ශල්මි 32, ශානක සම්පත් 13, රසිදු ඉෂාන් 14, චමත් ගෝමස් 21/2, ඩිල්ෂාන් මෙන්ඩිස් 22/4)

සැරසන්ස් ක්‍රීඩා සමාජය – පන්දුවාර 34.2කදී කඩුලු 5ක් දැවී ලකුණු 176 යි

(ජනක සම්පත් 68, අනුෂ්ක පෙරේරා 18, ශිහාන් ප්‍රනාන්දු 21, ධනුෂ්ක මදුශංක 15, ඩෙලෝන් පීරිස් 21*, චමත් ගෝමස් 23*, රුචිර සිල්වා 30/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar