ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කැන්ඩි කණ්ඩායම අද (21දා) සමත් විය. කොළඹදී පැවැති අවසන් මහා තරගයේදී ගාලු කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් එම ශූරතාවට කැන්ඩි කණ්ඩායම හිමිකම් කීවේය. ශූරතා කුසලාන සමග ජයග්‍රාහී මහනුවර කණ්ඩායමට මුදලින් ලක්ෂ 5 ක මුදලක්ද අනුශූරතාවට පත් ගාලු කණ්ඩායමට ලක්ෂ 3 ක ජය මල්ලක්ද හිමිවිය.
පළමුව පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායම නියමිත පන්දුවාර 39 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 209ක් රැස් කළේය. එහිදී නායක දුල්සිත් දර්ශන ලකුණු 74ක සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අතර, චමත්ක කවිෂන් ලකුණු 43ක් ලබා මැදපෙළ ශක්තිමත් කළේය. ආරෝෂ් සිතුමිණ ලකුණු 26ක් රැස් කළ අතර, සෙසු පිතිකරුවන්ට දිගු ඉනිම් ගොඩනැගීමට අවස්ථාවක් නොලැබිණි.
ගාලු ඉනිම අතරතුර කැන්ඩි පන්දු යවන්නන් අතර කොලිත සුගත් කඩුලු 3ක් දවා ගනිමින් කැපී පෙනුණු අතර චානිරු සෙනරත්න සහ රයන් ග්‍රෙගරි කඩුලු 2 බැගින් දවා ගත්හ. කෙසේ වෙතත් ගාලු ඉනිමට වැඩි දායකත්වයක් ලැබුණේ අමතර ලකුණු 34කිනි. ඒ අතරට පුළුල් පන්දු 27ක් ඇතුළත් වීම විශේෂත්වයකි.
ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කැන්ඩි කණ්ඩායම පන්දුවාර 37කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 228ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය. එහිදී නායක ඩිමාන්ත මහවිතරණ විශිෂ්ට නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 107කින් ලකුණු 107ක් රැස් කළේ හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟිනි. ඔහුට මහේන්ද්‍ර අබේසිංහගෙන් ලැබුණු සහායද කැපී පෙනුණු අතර, අබේසිංහ පන්දු 85කින් ලකුණු 71ක් රැස් කළේ හතරේ පහර 6ක් සමඟිනි. මෙම දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 174ක සබඳතාවක් ගොඩනඟමින් තරගයේ පාලනය මුළුමනින්ම කැන්ඩි පිල වෙත ගෙන ගියහ.
අවසන් අදියරේදී කෞෂික කුමාරසිංහ වේගවත් ලකුණු 25ක් රැස් කරමින් ජයග්‍රහණය තවත් වේගවත් කළ අතර, චානිරු සෙනරත්න සහ සෙත්මික සෙනෙවිරත්න නොදැවී සිටිමින් කණ්ඩායම ශූරතාව කරා රැගෙන ගියහ.
ගාලු පන්දු යවන්නන් අතර ලතීන්ද්‍ර ආකාශ් සහ ලිදුල නෙත්මිණ එක් කඩුල්ල බැගින් දවා ගත්තද, කැන්ඩි පිතිකරුවන් පාලනය කිරීම පහසු නොවීය. ගාලු පිල ලබාදුන් අමතර ලකුණු 17ද ඔවුන්ගේ අවාසියට හේතු විය.
මෙලෙස නායක ඩිමාන්ත මහවිතරණගේ ශතකය සහ මහේන්ද්‍ර අබේසිංහගේ අර්ධ ශතකය මත ගොඩනැගුණු දැවැන්ත ආරම්භය හේතුවෙන්, ගාලු කණ්ඩායමට එරෙහිව බලවත් ජයක් වාර්තා කළ කැන්ඩි පිල 2026 ශ්‍රී ලංකා යූත් ලීග් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි සංවිධාන කමිටුවේ ප්‍රධානී ප්‍රසන්න ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අදාළ ජය සංකේත ප්‍රධානයේදී අවසන් මහ තරගයේ වීරයා සය තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා යන සම්මාන ද්විත්වය මහනුවර කණ්ඩායමේ නායක දිමන්ත මහවිතාන විසින් හිමිකරගන්නා ලදී. ඔහුට අවසන් මහ තරගයේ සම්මානයට අමතරව මුදලින් රු. 50,000 ක්ද තරගාවලියේ දක්ෂතම කීඩකයා සම්මානයට අමතරව මුදලින් රු. ලක්ෂයක්ද පිරිනැමිණ.
ඊට අමතරව දක්ෂතම පිතිකරු ලෙස කොලඹ උතුරු කණ්ඩායමේ මෙනුජ වෙකුණගොඩ සහ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් මහනුවර පිලේ කනිල්ක ඇන්තනී සම්මාන දිනාගත්හ. මොවුන් දෙදෙනාටම අදාළ කුසලාන වලට අමතරව මුදලින් රු. 75,000 බැගින් පිරිනැමිණ.
ගාලු පිල පන්දුවාර 39කදී කඩුලු 7ක් දැවී 209 යි – (දුල්සිත් දර්ශන 74, චමත්ක කවිෂන් 43, ආරෝෂ් සිතුමිණ 26, කොලිත සුගත් 40/3, චානිරු සෙනරත්න 26/2, රයන් ග්‍රෙගරි 20/2)
කැන්ඩි පිල පන්දුවාර 37කදී කඩුලු 3ක් දැවී 228 යි – (දිමන්ත මහවිතාරණ 107, මහේන්ද්‍ර අබේසිංහ 71, කෞෂික කුමාරසිංහ 25)




