slc
logo
Home   |    News
ජූනි 21, 2026
දුල්සිත්ගේ නායකත්ව ඉනිමෙන් ගාල්ලත් අවසන් මහ තරගයට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් වූයේ කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කරමිනි.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ උතුර කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සියලුදෙනා දැවී පන්දුවාර 49.4කදී ලකුණු 232ක් රැස් කළේය.

කොළඹ උතුර ඉනිමේ කොඳුනාරටිය වූයේ සෙනුජ වැකුණුගොඩ ය. ඔහු පන්දු 68කදී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්විය. ඊට අමතරව කිත්ම විදානපතිරණ පන්දු 31කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් රැස් කළ අතර, දුල්නිත් සිගේරා පන්දු 42කදී ලකුණු 32ක් ලබා දුන්නේය. ඉනිම අවසානයේ ශ්‍රීරාම් ජීවහන් නොදැවී ලකුණු 22ක් ලබා සිටියේය.

කොළඹ උතුර ඉනිම සීමා කිරීමේදී ගාල්ල පන්දු යවන්නන් අතරින් ලතීන්ද්‍ර ආකාශ් ලකුණු 39කට කඩුලු 3ක් දවා ගනිමින් කැපී පෙනුණේය. ඔහුට අමතරව තරුන් දම්සිත් සහ ගිම්හාන් රසාංජන කඩුලු 2 බැගින් දවා ගනිමින් සහාය ලබා දුන්හ.

ලකුණු 233ක ඉලක්කයක් හඹා ගිය ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ආරම්භයේ සිටම පීඩනය පාලනය කරමින් ඉලක්කය හඹා ගියේය. තවත් පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමින් ලකුණු 233ක් ලබා ගත් ගාල්ල පිල අවසන් මහා තරගයට පිවිසීමට සමත් විය.

ගාල්ල ඉනිමේ ජයග්‍රාහී මූලිකත්වය ලබා දුන්නේ නායක දුල්සිත් දර්ශන ය. ඔහු පන්දු 60කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 66ක් රැස් කරමින් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහුට ශක්තිමත් සහායක් ලබාදුන් සඳරු මල්ශාන්, ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වන විට පන්දු 61කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 52ක් රැස් කරමින් ගාල්ල ජය තහවුරු කළේය.

ඊට අමතරව ගිම්හාන් රසාංජන පන්දු 64කදී ලකුණු 37ක් ලබා ගත් අතර, අරෝෂ සිතුමිණ පන්දු 38කදී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් රැස් කරමින් ජයග්‍රහණය සඳහා වැදගත් දායකත්වයක් දැක්වීය.

මෙම ජයත් සමඟ ගාල්ල කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර, ඔවුන් මහනුවර කණ්ඩායම සමඟ ශූරතාව සඳහා තීරණාත්මක අවසන් සටනකට මුහුණ දීමට නියමිතය. එම අවසන් මහා තරගය හෙට (21) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කොළඹ උතුර කණ්ඩායම පන්දුවාර 49.1 කදී සියලුදෙනා දැවී ලකුණු 232 යි – (සෙනුජ වැකුණුගොඩ 71, කිත්ම විදානපතිරණ 33, දුල්නිත් සිගේරා 32, ශ්‍රීරාම් ජීවහන් 22*, ලතීන්ද්‍ර ආකාශ් 39/3, තරුන් දම්සිත් 31/2, ගිම්හාන් රසාංජන 39/2)

ගාල්ල කණ්ඩායම පන්දුවාර 44.1 කදී කඩුලු 5ක් දැවී ලකුණු 233 යි – (දුල්සිත් දර්ශන 66, සඳරු මල්ශාන් නොදැවී 52, ගිම්හාන් රසාංජන 37, අරෝෂ සිතුමිණ 36, කිත්ම විදානපතිරණ 26/2, තරුෂ නවෝද්‍ය 22/2)

Active filters

Recent Posts

  • චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය […]
  • ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ
    ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • සතියේ එකම පූර්ණ ජය චිලව් මේරියන්ස්ගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය […]
  • ෂෙහස් සහ පවන් ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ […]
  • කුරුණෑගල යූත් අසීරුතාවයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවැති ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත් කණ්ඩායම් අතර තරගයේ පළමු […]

Pin It on Pinterest

USD United States (US) dollar