අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් සැලසුම් ඉලක්ක කරගනිමින් පැවැත්වෙන ඉන්දීය ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ අද (25දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ පළමු නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනට තරගය නිමා වන විට එරට තේරීම් කමිටුවේ විශේෂ අවධානය දිනා ගැනීමට සයි සුදර්ශන් සහ නායක ධෘව් ජුරෙල් සමත්ව සිටියහ. මෙම පිතිකරුවන් දෙදෙනා අතරින් සයි සුදර්ශන් ලකුණු 132 ක් වාර්තා කළ අතර, නායක ජුරෙල් නොදැවී ලකුණු 68 ක් ලබා සිටියේය.
මොවුන් දෙදෙනාගේ ඉනිම් හේතුවෙන් පළමු දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 333ක් වැනි දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට අවස්ථාව උදා වී තිබිණි. පන්දුවාරයකට 3.87ක දළ ලකුණු වේගයක්ද රඳවා ගනිමින් ඉනිම ගොඩනැගූ ඉන්දීය ‘ඒ’ පිල, දිනය පුරාම තරගයේ පාලනය තමන් සතු කර ගැනීමට සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ඉන්දියා ‘ඒ’ පිලට ආරම්භක පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක් හිමිවිය. ආයුෂ් පාන්ඩේ සහ සයි සුදර්ශන් පළමු කඩුල්ල සඳහා ලකුණු 82ක සබඳතාවක් ගොඩනැගූ අතර, පාන්ඩේ ලකුණු 25කට දැවී යාමත් සමඟ එම සබඳතාව අවසන් විය. වමත් දඟ පන්දු යවන දිලුම් සුදීර ඔහු දවා ගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිලට පළමු සාර්ථකත්වය ලබා දුන්නේය.
ඉන් අනතුරුව ඉන්දියා ‘ඒ’ ලකුණු පුවරුව 181 ක් වන විට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයට යළි අවතීර්ණ වීමට ශ්‍රී ලංකා ‘ඒ‘ පන්දු යවන්නෝ සමත්ව සිටියහ. දෙව්දත් පඩික්කාල් ලකුණු 12ක් ලබා දැවී ගිය අතර, රුතුරාජ් ගයික්වාඩ් ලකුණු 22කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු විය. එහෙත් එම පසුබෑම මැද ඉනිමේ වගකීම සිය කරමතට ගත් සායි සුදර්ශන්, ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සංයමයෙන් සහ විශ්වාසයෙන් යුතුව ඉනිම ගොඩනැගීය.
පන්දු 175කින් ලකුණු 132ක් රැස් කළ සයි සුදර්ශන්ගේ විශිෂ්ට ඉනිමට හතරේ පහර 19ක් ඇතුළත් වූ අතර, එම ශතකය ඉන්දියානු ඉනිමේ පදනම බවට පත්විය. අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය ඉලක්ක කරගත් ඉන්දීය තේරීම් සටනේදී ඔහු තම නම ඉදිරියෙන් තැබූ ඉනිමක් ලෙසද එය සැලකිය හැකිය.
සුදර්ශන් දැවී යන විට ඉන්දියා ‘ඒ’ පිල ලකුණු 217කට කඩුලු 4ක් ලෙස සටහන් විය. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිලට තරගයේ පාලනය යම් තරමකට නැවත තමන් වෙත හරවා ගැනීමේ අවස්ථාවක් ඇති වූවත්, ඉන්දියානු මැදපෙළින් එක්වූ නායක ධෘව් ජුරෙල් සහ ශයික් රශීඩ් එම බලාපොරොත්තුව බිඳ දැමූහ.
මොවුන් දෙදෙනා පස්වැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 116ක සබඳතාවක් ගොඩනඟමින් තේ පානයේ සිට දිනය අවසන් වන තෙක් වූ කාලයේදී කඩුලු ආරක්ෂා කරගත්හ. නායක ජුරෙල් පන්දු 138කින් නොදැවී ලකුණු 68ක් ද රෂීඩ් පන්දු 92කින් නොදැවී ලකුණු 53ක් ලබා තරගයේ දෙවැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරනෙ සිටිති.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් පන්දු යැවීමේදී දිලුම් සුදීර කඩුලු 2ක් දවාගනිමින් වඩාත් සාර්ථක පන්දු යවන්නා බවට පත් වූ අතර, රවින්දු ප්‍රනාන්දු සහ චාමික ගුණසේකර කඩුල්ල බැගින් බිඳ හෙළූහ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතිරේක ලකුණු 21ක් ප්‍රතිවාදීන්ට පිරිනැමීම ඔවුන්ගේ පීඩනය තවත් වැඩි කළ සාධකයක් විය. එම අතිරේක අතර නිපන්දු 13ක්ද ඇතුළත් විය.
හෙට තරගයේ දෙවැනි දිනයයි.
ඉන්දීය ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 86 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 333 යි – (සායි සුදර්ශන් 132, ආයුෂ් පාණ්ඩේ 25, දෙව්දත් පඩික්කාල් 12, රුටුරාජ් ගයික්වාඩ් 22, ධෘව් ජුරෙල් 68, ශයික් රශීඩ් 53, දිලුම් සුදීර 98/2, රවිඳු ප්‍රනාන්දු 87/1, චාමික ගුණසේකර 50/1)
ජූනි 25, 2026
සුදර්ශන්-ජුරෙල් ඉන්දීය තේරීම් කමිටුවේ අවධානය දිනාගනිති






