slc
logo
Home   |    News
ජූනි 8, 2026
අනාගත ක්‍රිකට් තරු රැසක් හෙට සිට දඹුල්ලේදී කරළියට

sinhala editor

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය යන රටවල් තුනේ ‘ඒ’ කණ්ඩායම් සහභාගි වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (09) දඹුල්ල රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. තරගාවලියේ ආරම්භක තරගයේදී සත්කාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඉන්දියා ‘එඒ’ කණ්ඩායම පෙරවරු 10.00ට තරග බිමට පිවිසීමට නියමිත අතර, ජූනි 21 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයෙන් ශූරයන් තීරණය කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙම තරගාවලිය අනාගත ජාත්‍යන්තර ක්‍රිකට් තරු රැසක් එකම වේදිකාවකට එක්වන සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ. ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ ක්‍රීඩකයන්ට තම හැකියාවන් ජාත්‍යන්තර මට්ටමේදී ඔප්පු කිරීමට මෙම තරගාවලිය වැදගත් අවස්ථාවක් වනු ඇත.

තරගාවලියේ ආකෘතිය අනුව කණ්ඩායම් තුනම එකිනෙකා සමඟ දෙවරක් බැගින් තරග වදින අතර, ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන දෙක හිමිකර ගන්නා කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත. ඒ අනුව සෑම තරගයක්ම අවසන් මහා තරගයක වැදගත්කමකින් යුක්ත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙවර තරගාවලියේ ප්‍රධානතම අවධානය දිනාගෙන ඇත්තේ ඉන්දියා ‘ඒ’ කණ්ඩායම වෙතය. තිලක් වර්මාගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායම තුළ ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගත තරු රැසක් ඇතුළත් වී සිටිති. විශේෂයෙන්ම ලොව ක්‍රිකට් ක්ෂේත්‍රයේ මේ වනවිටත් කතාබහට ලක්ව ඇති 14 හැවිරිදි විබෛව් සූරියවංශී පිළිබඳව ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ.

ආක්‍රමණශීලී වමත් පිතිකරුවකු වන සූරියවංශී,ඉතා කුඩා වයසකදී ඉන්දීය දේශීය ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේද කැපී පෙනෙන දස්කම් දැක්වීම හේතුවෙන් අනාගත සුපිරි තරුවක් ලෙස සැලකේ. දඹුල්ලේ තරගාවලිය ඔහුගේ ජාත්‍යන්තර අත්දැකීම් ගොන්නට එක්වන තවත් වැදගත් පියවරක් වනු ඇත.

සූරියවංශීට අමතරව රුතුරාජ් ගයික්වාඩ්, අයුෂ් බඩෝනි, නිශාන්ත් සින්දු, අනූජ් රාවත් සහ තුෂාර් දේශ්පාන්ඩේ වැනි ක්‍රීඩකයෝද ඉන්දීය සංචිතයේ සිටිති. පිතිකරණයේ ගැඹුර සහ පන්දු යැවීමේ විවිධත්වය හේතුවෙන් තරගාවලියේ ශූරතා අපේක්ෂකයන් අතර ඉදිරියෙන්ම පසුවන්නේද ඉන්දියා ‘ඒ’ කණ්ඩායම බව නොරහසකි.

කෙසේ වෙතත් සත්කාරක ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමද දේශීය තත්ත්වයන් පිළිබඳ ඇති හුරුපුරුදුකම හේතුවෙන් ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කළ හැක. විශේෂයෙන් දඹුල්ලේ තණතීරු සාම්ප්‍රදායිකව දඟ පන්දු යවන්නන්ට සහාය දක්වන බැවින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු බලඇණිය තරගාවලියේ ප්‍රධාන අවියක් විය හැකිය.

මේ අතර තරගාවලියේ සියලු තරග ප්‍රේක්ෂකයන්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සලසා දී තිබේ. ප්‍රේක්ෂකයන්ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අංක 02 දරන පිවිසුම් දොරටුවෙන් ඇතුළුවිය හැකි අතර, එය හෙට පෙරවරු 9.30 සිට විවෘත කෙරෙනු ඇත.

තරගාවලිය සජීවීව නැරඹීමට කැමති ක්‍රිකට් ලෝලීන් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නිල යූටියුබ් නාලිකාව ඔස්සේ මෙන්ම Sony Sports Ten 1, Sony Sports Ten 2, Sony Sports Ten 5 සහ Ten Cricket නාලිකා ඔස්සේද සජීවී විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව අනාගත ජාත්‍යන්තර තරු රැසක් එකම වේදිකාවකදී දැකගැනීමට අවස්ථාව සලසන මෙම තුන්කොන් එක්දින තරගාවලිය, ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ මෙන්ම ලොව පුරා වූ ක්‍රිකට් රසිකයින්ගේ ප්‍රධාන අවධානය දිනාගන්නා තරගාවලියක් වනු ඇති බවට සැකයක් නැත.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය […]
  • ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ
    ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • සතියේ එකම පූර්ණ ජය චිලව් මේරියන්ස්ගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය […]
  • ෂෙහස් සහ පවන් ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ […]
  • කුරුණෑගල යූත් අසීරුතාවයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවැති ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත් කණ්ඩායම් අතර තරගයේ පළමු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee