slc
logo
Home   |    News
ජූලි 9, 2026
චාමික හීනටිගලගේ සටන්කාමී ඉනිමෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට තරගාවලියේ ජය

sinhala editor

තරගාවලිය ජය ගැනීම සඳහා තීරණාත්මක තෙවැනි එක්දින තරගයේදී අවසන් පන්දුව තෙක් උණුසුම් වූ සටනකින් අනතුරුව චාමික හීනටිගල පන්දු 68 කට මුහුණ දී නොදැවී රැස් කරන ලද ලකුණු 84ක විශිෂ්ට ඉනිම හේතුවෙන් ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි තෙවැනි එක්දින තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද (09 දා) පස්වරුවේ සමත් විය.

තරගාවලිය ආරම්භයේදී ඉන්දියාව පළමු එක්දින තරගය ජය ගනිමින් 1-0ක් ලෙස පෙරමුණ ගත්තද, දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව ප්‍රබල පිළිතුරක් ලබා දෙමින් තරගාවලිය සම තත්ත්වයට පත් කළේය. ඒ අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි හා අවසන් තරගය තරගාවලියේ තීරණාත්මක තරගය බවට පත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 291ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 291ක් රැස් කරමින් අවසන් පන්දුවේදී අමතක නොවන ජයග්‍රහණයක් වාර්තා කළේය. අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකා යොවුන් පිලේ ජයග්‍රහණය සඳහා ලකුණු 11 ක් අවශ්‍ය වු අතර එය තනිවම ලබා ගනිමින් චාමික සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

එහිදී දෙවැනි පන්දුව තර්ඩ්මෑන් කළාපය හරහා හතරේ සීමාවට යැවු චාමික, නැවතත් පස්වැනි පන්දුව ඩීප් එක්ස්ට්‍රා කවර් කලාපයට ඉහළින් හයේ පහරක් ලෙසින් පරිවර්තනය කරමින් දෙපිළේම ලකුණු සම තත්ත්වයට රැගෙන ආවේය අනතුරුව අවසන් පන්දුවට එක් ලකුණක් පැති මාරු කර ගනිමිනී ඉතාමත් උද්වේගකර වූ තරගයේ අවසානය ශ්‍රී ලංකා පිලට වාසි දායක වන ලෙස නිමා කළේය.

මැදපෙළ බිඳ වැටී ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත්ව සිටියදී පිටියට පිවිසි චාමික හීනටිගල අතිශය පීඩනකාරී අවස්ථාවක ඉනිම පාලනය කළේ ඉහළ පරිණතභාවයක් ප්‍රදර්ශනය කරමිනි. පන්දු 68කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 84ක් රැස් කළ ඔහු, අවසන් මොහොත දක්වා කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ඔහුට අවසන් කඩුල්ල වෙනුවෙන් ලතේන්ද්‍ර ආකාශ් ලබාදුන් සන්සුන් සහායද ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට මහත් පිටිවහලක් විය. අවසන් පන්දුවේදී අවශ්‍ය වූ ලකුණ සාර්ථකව ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තෙවැනි තරගයේ ජය පමණක් නොව තරගාවලියද 2-1 ක් ලෙස ජය වාර්තා කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ මුලදී සෙනුජ වෙකුණගොඩ වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 59කින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 67ක් රැස් කළ අතර, කිත්ම විතානපතිරණ ලකුණු 31ක් සහ කවිජ ගමගේ ලකුණු 29ක් එක් කළහ. කෙසේ වෙතත්, කඩුලු රැසක් කෙටි කාලයක් තුළ බිඳ වැටීමෙන් තරගයේ වාසිය ඉන්දීය කණ්ඩායම දෙසට හැරී ගියද, හීනටිගලගේ නොසැලෙන ඉනිම ශ්‍රී ලංකාව නැවත තරගයට රැගෙන ආවේය.

පමුව පන්දුවට පහර දුන් ඉන්දීය යොවුන් පිල පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස් කළේ වී.කේ. විනීත්ගේ විශිෂ්ට ශතකය හේතුවෙනි. ඔහු පන්දු 136කින් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 131ක් රැස් කළ අතර, ලක්ෂ්‍ය රයිචන්දනි ලකුණු 61ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර සෙත්මික සෙනෙවිරත්න විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 41කට කඩුලු 4ක් දවා ගත්තේ ඉන්දීය ඉනිමේ මුල් පෙළ දැඩි පීඩනයකට ලක් කරමිනි. ගිම්හාන් මෙන්ඩිස් කඩුලු 2ක් සහ කවිජ ගමගේ එක් කඩුල්ලක් දවා ගත්හ.

තරගාවලියේ අවසන් තරගයේදී ලැබූ මෙම සුවිශේෂී ජයග්‍රහණය ශ්‍රී ලංකා යොවුන් පිලේ සටන්කාමී ස්වභාවය මනාව පිළිබිඹු කළ අතර, එහි ප්‍රධානතම වීරයා බවට පත්වූයේ චාමික හීනටිගලය. පීඩනය හමුවේ වගකීම භාරගෙන ඉනිම ගොඩනැගූ ඔහුගේ නොදැවී ලකුණු 84ක ඉනිම ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ඉතිහාසයේ මතක රැඳෙන ජයග්‍රහණ අතරින් එකක් අද ජයග්‍රහණය සනිටුහන් වනු ඇත.

තරගවාසානයේ පැවැති ජය සංකේත ප්‍රධානයේදී චාමික හීනටිගල තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීය. මෙමම තරග 3 හි තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද චන්දන මහේෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම ජය සංකේත ප්‍රධානයේදී පළමු තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් කුශාග්‍රා ඕජා ද දෙවැනි තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් නොදැවී ලකුණු 155 ක් ලද දිමන්ත මහවිතාන සම්මාන ලබා ගත්හ.

ඉන්දීය අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 290 යි – (වී.කේ. විනීත් 131, ලක්ෂා රියිචන්දනි 61, ශවීන් විනෝද් 26, සෙත්මික සෙනෙවිිරත්න 41/4, ගිම්හාන් මෙන්ඩිස් 63/2)

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 291 යි – (චාමික හීනටිගල 84*, කිත්ම විදානපතිරණ 31, සෙනුජ වෙකුණගොඩ 67, කවීජ ගමගේ 29, දිමන්ත මහවිතාන 22, ගිම්හාන් මෙන්ඩිස් 23, අන්බලජීත් සිං 42/4, ශවින් විනෝද් 41/3, මොහිත් උල්වා 66/2) 

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar