slc
logo
Home   |    News
ජූලි 26, 2026
අවිශ්ක – කමිල් ප්‍රහාරයෙන් ජැෆ්නා කිංග්ස්ට ලකුණු 93ක දැවැන්ත ජයක්

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ 13 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් පරාජය කරමින් ලකුණු 93ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී ජැෆ්නා කිංග්ස් ලබා දුන් ලකුණු 200ක ඉලක්කය හඹා ගිය කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 18.2කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 106ක් පමණි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 199ක් රැස් කළේය.

ජැෆ්නා ඉනිමේ ප්‍රධාන ශක්තිය වූයේ ආරම්භක පිතිකරුවන් වන අවිශ්ක ප්‍රනාන්දු සහ කමිල් මිශාර ගොඩනැගූ වේගවත් සබඳතාවයයි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 129ක දැවැන්ත සබඳතාවක් ගොඩනඟමින් කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබා දුන්හ.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 36කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟ වේගවත් ලකුණු 66ක් රැස් කළ අතර, කමිල් මිශාර පන්දු 53කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 78ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

අවසන් අදියරේදී තව්හිද් රිඩෝයි නොදැවී ලකුණු 35ක් ලබා ගනිමින් ජැෆ්නා ලකුණු පුවරුව 199 දක්වා ඉහළ නැංවීමට දායක විය. චමින්දු වික්‍රමසිංහ ලකුණු 10ක් සහ නායක භානුක රාජපක්ෂ ලකුණු 1ක් ලබා දැවී ගියහ.

කැන්ඩි රෝයල්ස් වෙනුවෙන් පන්දු යැවීමේදී ශහීන් ශා අෆ්රිඩි ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත් අතර, දුෂාන් හේමන්ත එක් කඩුල්ලක් ලබා ගත්තේය.

ලකුණු 200ක ඉලක්කයක් හඹා ගිය කන්ඩි රෝයල්ස් කණ්ඩායමට ආරම්භයේ සිටම ජැෆ්නා පන්දු යවන්නන්ගෙන් දැඩි පීඩනයක් එල්ල විය. කණ්ඩායමේ බලාපොරොත්තුවක් වූ ලහිරු උදාර ලකුණු 54ක් ලබා ගනිමින් යම් සටනක් ලබා දුන්නද, අනෙක් පිතිකරුවන්ගෙන් ප්‍රමාණවත් සහයක් නොලැබීම හේතුවෙන් රෝයල්ස් ඉනිම කඩා වැටුණි.

ලහිරු උදාර පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 54ක් රැස් කළේය. ශහීන් ශා අෆ්රිඩි අවසන් අදියරේදී ලකුණු 22ක් ලබා ගත්තේය.

කෙසේ වෙතත් කුසල් පෙරේරා (4), ඩේල් ෆිලිප්ස් (2), ඇන්ජලෝ මැතිව්ස් (8), විජේ ශංකර් (0), මොයින් අලි (7), වනිඳු හසරංග (3) සහ දුෂාන් හේමන්ත (2) ඇතුළු පිතිකරුවන්ට විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි විය.

ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් මොහොමඩ් ශිරාස් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 3.2කදී ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත්තේය. දුනිත් වෙල්ලාලගේ ලකුණු 22කට කඩුලු 3ක් ලබා ගනිමින් ඔහුට අනගි සහයක් ලබා දුන්නේය.

ජැෆ්නා කිංග්ස් – 199/4 (20)
කමිල් මිශාර 78, අවිශ්ක ප්‍රනාන්දු 66, තව්හිද් රිඩෝයි නොදැවී 35
ශහීන් ශා අෆ්රිඩි 27/3

කන්ඩි රෝයල්ස් – 106 (18.2)
ලහිරු උදාර 54, ශහීන් ශා අෆ්රිඩි 22
මොහොමඩ් ශිරාස් 18/3, දුනිත් වෙල්ලාලගේ 22/3

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar