slc
logo
Home   |    News
ජූලි 18, 2026
අසලංකගේ ඉනිමෙන් ගෝල් ගැලන්ට්ස්ට ජයග්‍රාහී ආරම්භයක්

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් ප්‍රබල ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 36 කින් පරාජය කරමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තේය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 213ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 177ක් පමණි.

ගෝල් ඉනිමේ මුල් අවස්ථාවේදී සෑම් හාපර් පන්දු 19කින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟ වේගවත් ලකුණු 40ක් රැස් කරමින් ප්‍රහාරාත්මක ආරම්භයක් ලබා දුන්නේය. කෙසේ වෙතත් ලකුණු 46ක් වන විට මුල් කඩුලු දෙකම බිඳ වැටීමත් සමඟ ඉනිමේ වගකීම භාරගත් චරිත් අසලංක, පන්දු 38කින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟ අනගි ලකුණු 65ක් රැස් කරමින් ගෝල් ඉනිම ගොඩනැගීය.

ඔහුට සාර්ථක සහායක් ලබාදුන් සහන් ආරච්චිගේ පන්දු 24කින් ලකුණු 35ක් රැස් කළ අතර, අවසන් පන්දුවාර කිහිපයේදී නායක දසුන් ශානක පන්දු 9කින් නොදැවී ලකුණු 31ක් (4×2, 6×3) රැස් කරමින් දැවැන්ත ප්‍රහාරයක් දියත් කළේය. මොහොමඩ් නවාස් ද පන්දු 9කින් ලකුණු 21ක් (හයේ පහර 3ක්) රැස් කරමින් අවසන් පන්දුවාරයේ වේගය තවත් ඉහළ නැංවීය.

ජැෆ්නා පන්දු යවන්නන් අතර ලිසාඩ් විලියම්ස් කඩුලු 2ක් සහ පියුෂ් චව්ලා කඩුලු 2ක් දවාගත් අතර, දුනිත් වෙල්ලාලගේ ද ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 3කදී ලකුණු 10කට එක් කඩුල්ලක් දවාගත්තේය.

ලකුණු 214ක අභියෝගාත්මක ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් පිලට අවිශ්ක ප්‍රනාන්දු (34) සහ කමිල් මිශාර (28) පළමු පන්දු වාර හය අවසන් වීමට පෙර ලකුණු 63ක සබඳතාවක් ගොඩනඟමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නද, එෂාන් මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එම ගමන බිඳ වැටුණි.

මාලිංග මුල් පෙළ පිතිකරුවන් වන අවිශ්ක ප්‍රනාන්දු, ඉබ්‍රාහිම් සද්‍රාන්, නුවනිඳු ප්‍රනාන්දු සහ අවසන් කඩුල්ල ලෙස ‍ට්‍රෙවීන් මැතිව් දවා ගනිමින් පන්දුවාර 3.4කදී ලකුණු 26කට කඩුලු 4ක් බිඳ හෙළීය.

ජැෆ්නා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ දුනිත් වෙල්ලාලගේය. ඔහු පන්දු 24කින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 40ක් රැස් කළ අතර, අවසන් භාගයේදී චමින්දු වික්‍රමසිංහ පන්දු 10කින් වේගවත් ලකුණු 24ක් රැස් කළද ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.

ගෝල් පන්දු යවන්නන් අතර එෂාන් මාලිංග කඩුලු 4ක් දවාගෙන තරගයේ තීරණාත්මක බලපෑම එල්ල කළ අතර, අකිෆ් ජාවෙඩ් කඩුලු 2ක් දවාගත්තේය. නායක දසුන් ශානක, විජයකාන්ත් වියස්කාන්ත් සහ චරිත් අසලංක එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

පිත්තෙන් ලකුණු 65ක් රැස් කිරීමට අමතරව පන්දුවෙන් ද එක් කඩුල්ලක් දවාගත් චරිත් අසලංක තරගයේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර විය.

ලකුණු සාරාංශය

ගෝල් ගැලන්ට්ස් – 213/6 (පන්දුවාර 20)
චරිත් අසලංක 65, සෑම් හාපර් 40, සහන් ආරච්චිගේ 35, දසුන් ශානක නොදැවී 31, මොහොමඩ් නවාස් 21.
පන්දු යැවීම: ලිසාඩ් විලියම්ස් 28/2, පියුෂ් චව්ලා 43/2, දුනිත් වෙල්ලාලගේ 10/1

ජැෆ්නා කිංග්ස් – 177 (පන්දුවාර 19.4)
දුනිත් වෙල්ලාලගේ 40, අවිශ්ක ප්‍රනාන්දු 34, කමිල් මිශාර 28, චමින්දු වික්‍රමසිංහ 24.
පන්දු යැවීම: එෂාන් මාලිංග 26/4, අකිෆ් ජාවෙඩ් 31/2, දසුන් ශානක 28/1, විජයකාන්ත් වියස්කාන්ත් 32/1, චරිත් අසලංක 4/1.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar