slc
logo
Home   |    News
ජූලි 4, 2026
එකොලොස්දෙනාම එක්දින වරම් ලැබූ තරගයේ ජයත් ඉන්දියානු යෞවනයන්ට

sinhala editor

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (04) පැවැති තරග තුනකින් සමන්විත යොවුන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය යොවුන් පිල සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 320ක ප්‍රබල මුළු ලකුණු සංඛ්‍යාවක් රැස් කළද, ඉන්දීය පිල පන්දුවාර 49.2ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 324ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේ තරගාවලියේ 1-0ක පෙරමුණද හිමිකර ගනිමිනි.

මෙම ජයග්‍රහණය තවත් සුවිශේෂී වූයේ, තරගයට ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනාම එදිනම සිය වයස අවුරුදු 19න් පහළ එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගනිමින් පළමු තරගයේදීම ලෝක කුසලාන අත්දැකීම් සහිත වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිවම ජයග්‍රාහී ආරම්භයක් සනිටුහන් කිරීමයි.

ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූයේ සෙනුජ වෙකුණගොඩ සහ කවිජ ගමගේය. වෙකුණගොඩ පන්දු 111කදී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 91ක් රැස් කළ අතර, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් කවිජ ගමගේ සමඟ එක්ව ලකුණු 100ක සබඳතාවක්ද ගොඩනැගීය. ගමගේ පන්දු 70කදී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟ වේගවත් ලකුණු 77ක් රැස් කළේය.

මීට අමතරව දිමන්ත මහවිතාන ලකුණු 42ක්, චාමික හීනටිගල නොදැවී ලකුණු 46ක් සහ චාමරින්දු නෙත්සර වේගවත් ලකුණු 21ක් ලබා දෙමින් ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. අවසන් පන්දුවාර කිහිපයේදී කිත්ම විතානපතිරණ පන්දු 5කින් නොදැවී ලකුණු 18ක් රැස් කරමින් ඉනිමට ඉක්මන් නිමාවක් ලබා දුන්නේය.

ඉන්දීය පන්දු යැවීමේදී කාව්‍ය පරේෂ් පටෙල් ලකුණු 54කට කඩුලු 2ක් දවාගත් අතර, මෝහිත් උල්වා සහ රෝහිත් යාදව් එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

ලකුණු 321ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිල වෙනුවෙන් කුෂාග්‍ර ඔජ්හා තරගයේ තීරණාත්මක ඉනිම ක්‍රීඩා කළේය. ඔහු පන්දු 67කින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟ අගනා ලකුණු 92ක් රැස් කරමින් ජයග්‍රහණයේ ප්‍රධාන ශිල්පියා බවට පත්විය.

ඔහුට පෙර සගර් විර්ක් ලකුණු 57ක් සහ ලක්ෂ්‍ය රයිචන්දනි ලකුණු 52ක් රැස් කරමින් ඉනිමට ශක්තිමත් අඩිතාලමක් දැමූහ. පසුපෙළේ යෂ්වීර් ගෞඩ් නොදැවී ලකුණු 33ක් සහ ශවින් විනෝද් නොදැවී ලකුණු 13ක් රැස් කරමින් පන්දුවාර හතරක් ඉතිරිව තිබියදී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර සෙත්මික සෙනෙවිරත්න ලකුණු 46කට කඩුලු 2ක් දවාගත් අතර, කවිජ ගමගේද කඩුලු 2ක් බිඳ හෙළීය. දුල්නිත් සිගේරා සහ කුගතාස් මතුලන් එක් කඩුල්ල බැගින් ලබා ගත්හ.

ලකුණු 320ක් වැනි දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාවක් රැස් කළද, පන්දු යැවීමේදී ලබාදුන් අමතර ලකුණු 19 සහ අවසන් පන්දුවාරවලදී ඉන්දීය පිතිකරුවන්ට එල්ල කළ පීඩනය ප්‍රමාණවත් නොවීම ශ්‍රී ලංකා පිලේ පරාජයට ප්‍රධාන හේතුවක් බවට පත්විය.

මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත යොවුන් එක්දින තරගාවලියේ 1-0ක පෙරමුණ ගැනීමට ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ – 320/6 (පන්දුවාර 50) – (සෙනුජ වෙකුණගොඩ 91 (111), කවිජ ගමගේ 77 (70), චාමික හීනටිගල 46* (36), දිමන්ත මහවිතාන 42 (62), චාමරින්දු නෙත්සර 21 (11), කිත්ම විතානපතිරණ 18* (5), කාව්‍ය පරේෂ් පටෙල් 54/2, මෝහිත් උල්වා 49/1, රෝහිත් යාදව් 39/1)

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ – 324/6 (පන්දුවාර 49.2) – (කුෂාග්‍ර ඔජ්හා 92 (67), සගර් විර්ක් 57 (75), ලක්ෂ්‍ය රයිචන්දනි 52 (56), යෂ්වීර් ගෞඩ් 33* (21), යෂ්බර්ධන් චෞහාන් 31 (36), සෙත්මික සෙනෙවිරත්න 46/2, කවිජ ගමගේ 72/2, දුල්නිත් සිගේරා 46/1, කුගතාස් මතුලන් 44/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee