slc
logo
Home   |    News
ජූලි 26, 2026
කැන්ඩි රෝයල්ස්ට ලකුණු 11ක තියුණු ජයක්

sinhala editor

චාමික කරුණාරත්න සහ දසුන් ශානක අවසන් මොහොත දක්වා සටන් කළද, නුවන් තුෂාරගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ කැන්ඩි රෝයල්ස් පිල හමුවේ ලකුණු 11 ක පරාජයක් අත්විඳීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට සිදුවිය. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් පැවැති මෙම තරගයේද රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

කාසියේ වාසිය දිනූ ගෝල් ගැලන්ට්ස් නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, එහිදී කැන්ඩි රෝයල්ස් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කළේය.

කෙසේ වෙතත්, ඉනිමේ ආරම්භය කැන්ඩි කණ්ඩායමට එතරම් සාර්ථක නොවූ අතර ලකුණු 24ක් තුළ පළමු කඩුලු තුනම අහිමි විය. එම අසීරු අවස්ථාවේදී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ ඩේල් ෆිලිප්ස් සහ වනිඳු හසරංග ලකුණු 40ක වටිනා සබඳතාවක් ගොඩනැගූහ.

වනිඳු හසරංග පන්දු 12කදී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟ ලකුණු 16ක් රැස් කළ අතර, ඩේල් ෆිලිප්ස් පන්දු 25කින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 34ක් ලබා ගනිමින් ඉනිම ස්ථාවර කළේය.

අනතුරුව නායක ඇන්ජලෝ මැතිව්ස් හා එක් වූ මොයින් අලී, හයවැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් එක් කරමින් කණ්ඩායම ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේය. මොයින් අලී පන්දු 29කින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 41ක් රැස් කළ අතර, අවසන් මොහොතේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 22කින් හතරේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 28ක් ලබා ගත්තේය. විජේ ශංකර් ද පන්දු 12කින් ලකුණු 15ක් නොදැවී රැස් කරමින් මැතිව්ස් සමඟ හත්වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 28ක සබඳතාවක් ගොඩනැගීය.

ගෝල් ගැලන්ට්ස් වෙනුවෙන් අකිෆ් ජාවේඩ්, විජයකාන්ත් වියස්කාන්ත් සහ ප්‍රමෝද් මදුශාන් කඩුලු දෙක බැගින් දවා ගත්හ.

ලකුණු 166ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ගැලන්ට්ස් පිලට ආරම්භයේ සිටම කැන්ඩි පන්දු යවන්නන් දැඩි පීඩනයක් එල්ල කළ අතර, නියමිත පන්දුවාර 20 අවසානයේ ඔවුන්ට රැස් කරගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 154ක් පමණි.

නායක දසුන් ශානක අවසන් පන්දුව දක්වා සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 38කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 57ක් රැස් කළේය. චාමික කරුණාරත්න ද පන්දු 35කින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 52ක් ලබා දෙමින් ජයග්‍රහණය සඳහා දැඩි උත්සාහයක් ගත්තද, අනෙකුත් පිතිකරුවන්ගෙන් ප්‍රමාණවත් සහායක් නොලැබීම හේතුවෙන් ගෝල් පිලට ජයග්‍රහණය අහිමි විය.

පන්දු යැවීමේදී නුවන් තුෂාර විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් ද, මොයින් අලී සහ වනිඳු හසරංග කඩුල්ල බැගින් දවා ගනිමින් කැන්ඩි රෝයල්ස් ජයග්‍රහණය තහවුරු කළහ.

කැන්ඩි රෝයල්ස් කඩුලු 6ක් දැවී 165 (පන්දුවාර 20)
ඩේල් ෆිලිප්ස් 34, මොයින් අලී 41, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 28, ප්‍රමෝද් මදුශාන් 41/2, අකිෆ් ජාවේඩ් 26/2, විජයකාන්ත් වියස්කාන්ත් 36/2

ගෝල් ගැලන්ට්ස් කඩුලු 8ක් දැවී 154 (පන්දුවාර 20)
චාමික කරුණාරත්න 52, දසුන් ශානක නොදැවී 57, නුවන් තුෂාර 33/3, අසිත ප්‍රනාන්දු 33/2

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee