slc
logo
Home   |    News
ජූලි 16, 2026
LPL ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගොඩනඟන වේදිකාවක් – නායකයෝ එක හඬින් පවසති

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය යනු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට රැගෙන යන ප්‍රධාන වේදිකාවක් බවත්, තරුණ ක්‍රීඩකයන්ගේ දියුණුවට මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමටද එය සුවිශේෂී අවස්ථාවක් බවත් එහි නායකයෝ පස් දෙනා අවධාරණය කළහ.

ඒ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකයින් ලෙස කටයුතු කරන ලද ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ දසුන් ශානකට අමතරව වර්තමාන එක්දින සහ විස්සයි-20 කණ්ඩායම්වල නායකයා ලෙසින් කටයුතු කරන කුසල් මෙන්ඩිස්ද පසුවූහ. ඉට අමතරව ජැෆ්නා කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරනු ලබන භානුක රාජපක්ෂද පසුවිය.

ඔවුන් මේ අදහස් පළ කළේ හයවැනි LPL තරගාවලිය ආරම්භයට පෙර කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ අද (15) පැවැති මාධ්‍ය හමුවේදීය.

කොළඹ කැප්ස් නායක සහ ශ්‍රී ලංකා වත්මන් සුදු පන්දු නායක කුසල් මෙන්ඩිස් සඳහන් කළේ LPL යනු ශ්‍රී ලංකාවේ ඉහළම විස්සයි-20 ලීග් තරගාවලිය බවයි.

“සෑම වසරකම විදේශීය ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය වැඩි වෙනවා. ඒක අපේ තරුණ ක්‍රීඩකයන්ටත්, අපටත් ජාත්‍යන්තර විස්සයි-20 ක්‍රිකට් සඳහා අවශ්‍ය මට්ටම ඉහළ නංවා ගැනීමට විශාල උපකාරයක්. ලෝකයේ අනෙක් ලීග් තරගාවලිවලට වඩා විශාල වෙනසක් මම දකින්නේ නැහැ. නමුත් සෑම වසරකම තවත් පියවරක් ඉදිරියට යාම වැදගත්. T20 ක්‍රිකට්වල වයස් සීමාවක් නැහැ. දක්ෂතාව සහ ශාරීරික යෝග්‍යතාව තිබෙනවා නම් ජාතික කණ්ඩායමට පැමිණීමේ අවස්ථාව තිබෙනවා. ඉදිරි විස්සයි-20 ලෝක කුසලාන දෙක ඉලක්ක කරමින් මෙම තරගාවලියෙන් තවත් තරුණ ජාතික ක්‍රීඩකයන් බිහි වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා“ යැයි ඔහු පැවසීය.

කැන්ඩි රෝයල්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ සෑම රටකම ලීග් තරගාවලියටම එම රටට ආවේණික අනන්‍යතාවක් ඇති බවත්, LPL ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට විශාල ආයෝජනයක් බවත්ය.

“තරුණ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමඟ එකම කාමරයට වන්ව අත්දැකීම් බෙදා ගැනීමට ලැබීමම විශාල පාඩමක්. ඔවුන් පීඩන අවස්ථාවල හැසිරෙන ආකාරය, පුහුණු වන ආකාරය සහ වෘත්තීයමය ප්‍රවේශය තරුණයන්ට ඉගෙන ගැනීමට මෙය අනර්ඝ අවස්ථාවක්“ යැයි මැතිව්ස් පැවසීය.

ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ කිසිවෙකු සතුටු කිරීමට නොව, ක්‍රීඩාවට ඇති ආදරය නිසා බවද ඔහු සඳහන් කර සිටියේය.

“මේ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ශාරීරික යෝග්‍යතාව අත්‍යවශ්‍යයි. ඒ නිසා මම තවමත් පුහුණුවීම් කරනවා, දේශීය ක්‍රිකට් ක්‍රීඩා කරනවා. මට තවමත් ක්‍රීඩාව ගැන තිබෙන ආදරය ඒ සඳහා හේතුවයි“ යැයි මැතිව්ස් සඳහන් කර සිටියේය.

ගාල්ල ගැලැන්ට්ස් නායක දසුන් ශානක සඳහන් කළේ LPL යනු ශ්‍රී ලංකාවේම දක්ෂතා ලොවට ඉදිරිපත් කරන වේදිකාවක් බවයි.

“ශ්‍රී ලංකාව හැමදාමත් වෙනස්ම ආකාරයේ දක්ෂතා බිහි කළ රටක්. පසුගිය වසරවලත් එවැනි ක්‍රීඩකයන් අපි දැක්කා. මේ වසරේත් එවැනි දක්ෂයන් මතුවේවි කියලා බලාපොරොත්තු වෙනවා. තමන්ගේම ලීග් තරගාවලියක නිදහසේ තම දක්ෂතා ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් LPL ලබා දෙනවා“ යැයි ශානක කීවේය.

දඹුල්ල සික්සර්ස් නායක දිනේෂ් චන්දිමාල් ද මෙම තරගාවලිය තරුණ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමට පිවිසීමට තිබෙන හොඳම වේදිකාවක් බව පෙන්වා දුන්නේය.

“නැගී එන ක්‍රීඩකයන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කරන්න මෙය විශිෂ්ට අවස්ථාවක්. මෙම තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එහි සංවිධායකයන්ට ස්තූතිය පුද කළ යුතුයි. සියලුම කණ්ඩායම්වලට සාර්ථක තරගාවලියක් වේවායි ප්‍රාර්ථනා කරනවා“ යැයි චන්දිමාල් පැවසීය.

ජාෆ්නා කිංග්ස් නායක භානුක රාජපක්ෂ පැවසුවේ ලොව විවිධ රටවල ලීග් තරගාවලි රැසකට ක්‍රීඩා කර ඇති අත්දැකීම අනුව LPL අද වන විට ජාත්‍යන්තර අවධානය දිනාගත් තරගාවලියක් බවයි.

‘මෙය ගෝලීය තරගාවලියක් බවට පත්වෙමින් තිබෙනවා. කොවිඩ් වසංගත සමයේ පවා තරගාවලිය නතර නොකර ඉදිරියට ගෙන යාම LPL හි විශේෂත්වයක්. මේ තරගාවලිය නිසා තරුණ ක්‍රීඩකයන් රැසකට අවස්ථා ලැබී තිබෙනවා. විදේශීය ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා කිරීමෙන් ඔවුන්ගේ අත්දැකීම් ලබාගෙන අපේ ක්‍රීඩකයන්ට තම ක්‍රීඩා මට්ටම ඉහළ නංවා ගැනීමට හැකි වෙනවා. හොඳ තණතීරු, උසස් සංවිධානය සහ ජාත්‍යන්තර මට්ටමේ පරිසරය නිසා LPL අනෙකුත් ලීග් අතර කැපී පෙනෙන තරගාවලියක් බවට පත්ව තිබෙනවා“ යැයි භානුක සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුව සඳහා තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරනු ලබන සමන්ත දොඩන්වෙල මහතාද සහභාගිව සිටියේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee