slc
logo
Home   |    News
ජූලි 29, 2026
LPL ඉතිහාසය යළි ලියූ ළහිරු උදාරගේ සුපිරි ශතකයෙන් කැන්ඩි රෝයල්ස්ට කඩුලු 6ක ජයක්

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ඉතිහාසයේ ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙස නොදැවී ලකුණු 132ක් රැස් කළ කැන්ඩි රෝයල්ස් පිලේ ආරම්භක පිතිකරු ළහිරු උදාරගේ අතිවිශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කැන්ඩි රෝයල්ස් කණ්ඩායම අද (29) සමත් විය. මේ සමඟම අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යෑම සඳහා තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමේ අවස්ථාවද කැන්ඩි රෝයල්ස් කණ්ඩායම සතු විය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති LPL 2026 තරගාවලියේ 16 වැනි තරගයේදී ලකුණු 209ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කැන්ඩි රෝයල්ස් පිල පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 214ක් රැස් කරමින් ජය තහවුරු කළේය.

පන්දු 63කින් නොදැවී ලකුණු 132ක් රැස් කළ උදාරගේ මෙම ඉනිම හතරේ පහර 15කින් සහ හයේ පහර 7කින් වර්ණවත් වූ අතර, ඔහු මීට පෙර පතුම් නිස්සංක සතුව තිබූ ලකුණු 119ක LPL ඉහළම පුද්ගලික ලකුණු වාර්තාවද අභිබවා ගියේය.

පන්දු 21කින් අර්ධ ශතකය සම්පූර්ණ කළ උදාර, සිය ශතකය වාර්තා කළේ පන්දු 54කිනි. ඒ සමඟ ඔහු LPL ඉතිහාසයේ ඉලක්කයක් හඹා යමින් ශතකයක් රැස් කළ පළමු පිතිකරුවා බවට පත්වූ අතර, තරගාවලියේ 11 වැනි ශතකය සහ 2026 LPL තරගාවලියේ පළමු ශතකයද වාර්තා කළේය. එමෙන්ම පන්දු 54කින් ශතකය සම්පූර්ණ කිරීම LPL ඉතිහාසයේ සිව්වැනි වේගවත්ම ශතකය ලෙසද වාර්තා අතරට එක්විය.

තරගය පුරාම ගැලන්ට්ස් පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළ උදාර, ආරම්භක කඩුල්ල සඳහා පවන් සංදේශ් සමඟ ලකුණු 103ක සබඳතාවක් ගොඩනැගීය. සංදේශ් ලකුණු 23ක් රැස් කළ අතර, වනිඳු හසරංග ලකුණු 16ක් සහ මොයින් අලී ලකුණු 7ක් ලබා ගත්හ. නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 14ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ අතර, විජේ ශංකර් නොදැවී ලකුණු 7ක් රැස් කරමින් ජයග්‍රහණය නිමා කළේය.

ගෝල් ගැලන්ට්ස් වෙනුවෙන් සචි‍‍ඳු කොළඹගේ ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් සාර්ථකම පන්දු යවන්නා වූවත්, උදාරගේ සුපිරි ඉනිම හමුවේ එය ප්‍රමාණවත් නොවීය.

ඊට පෙර පළමුව පන්දුවට පහරදුන් ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 208ක් රැස් කළේය.

සෑම් හාපර් පන්දු 38කින් ලකුණු 72ක් රැස් කළ අතර, චරිත් අසලංක පන්දු 32කින් නොදැවී ලකුණු 70ක් සහ නුරුල් හසන් ලකුණු 33ක් රැස් කරමින් ගැලන්ට්ස් ඉනිම ශක්තිමත් කළහ. දසුන් ශානක පන්දු 13කින් ලකුණු 16ක් නොදැවී රැස් කළේය.

කැන්ඩි රෝයල්ස් වෙනුවෙන් සහීර් ඛාන් පන්දුවාර 4දී ලකුණු 25කට කඩුලු 2ක් දවා ගනිමින් කැපී පෙනුණි.

ගාල්ල ගැලන්ට්ස් – 208/3 (පන්දුවාර 20)
සෑම් හාපර් 72 (38), චරිත් අසලංක නොදැවී 70 (32), නුරුල් හසන් 33 (32), දසුන් ශානක 16 (13), චාමික කරුණාරත්න නොදැවී 8 (5), සහීර් ඛාන් 25/2, නුවන් තුෂාර 39/1

කැන්ඩි රෝයල්ස් – 214/4 (පන්දුවාර 18.5)
ළහිරු උදාර නොදැවී 132 (63), පවන් සඳේශ් 23 (17), වනිඳු හසරංග 16 (10), ඇන්ජලෝ මැතිව්ස් 14 (12), විජේ ශංකර් නොදැවී 7 (3), සචින්දු කොළඹගේ 18/3, එෂාන් මාලිංග 37/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee