slc
logo
Home   |    News
ඔක්තෝබර් 8, 2026
සංජනාගේ විශිෂ්ට ඉනිමෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ජය

sinhala editor

පාකිස්තානයේ ෆයිසලාබාද්හිදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අද (08 දා) පස්වරුවේදීසමත් විය. ශ්‍රී ලංකා ජයග්‍රහණයේ කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත්වූ සංජනා කාවින්දි පන්දු 59කදී නොදැවී ලකුණු 90ක් රැස් කරමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකා සම්මානය ද දිනාගත්තාය.

බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 126ක් රැස් කළේය. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 19.1කදී කඩුලු 4ක් දැවී ලකුණු 128ක් ලබා ගනිමින් ජයග්‍රහණය සම්පූර්ණ කළහ.

මෙය මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව තරග වැදි තරග 3 න් ලබා ගත් දෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන්වීය. එම තරග දෙකම බංග්ලාදේශ බාළිකා පිලට එරෙහිව වාර්තා කිරීමට සමත්වීමද කැපී පෙනෙයි.

සංජනා කාවින්දිගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වූ අතර, ඇයගේ ප්‍රහාරාත්මක පිතිහරඹය ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට මඟ පෑදීය. දනෝද්‍යා සෙව්මිණි පන්දු 27කදී ලකුණු 19ක් රැස් කරමින් සංජනාට සහාය වූවාය. නෙත්මි උපුක්ෂා ලකුණු 12ක් ලබා ගත්තාය.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ අචෙනා ජනත් පන්දු 36කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 50ක් රැස් කළාය. ශිරීනා ඛාතුන් ලකුණු 16ක් ද, සදියා අක්ටර් නොදැවී ලකුණු 16ක් ද, නිශිතා අක්ටර් නිෂි ලකුණු 15ක් ද ලබා ගත්හ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී චමුදි ප්‍රබෝධා ලකුණු 18කට කඩුලු 2ක් දවාගත් අතර චමෝදි හේරත් ලකුණු 14කට කඩුලු 2ක් දවාගත්තාය. දනෝද්‍යා සෙව්මිණි ලකුණු 31කට කඩුල්ලක් දවාගත් අතර නෙත්මි උපුක්ෂා ලකුණු 18කට කඩුල්ලක් ලබා ගත්තාය.

ප්‍රසාද ලකුණු සටහනට අනුව මෙම තරගය පරාජයට පත් වුවද එහි පෙරමුණ ගෙන සිටින්නේ තරග 4 කදී ජයග්‍රහණ 2 ක් වාර්තා කොට ඇති බංග්ලාදේශ කණ්ඩායම වන අතර ශ්‍රී ලංකාව එහි දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේය. සත්කාරක පාකිස්තානු පිල මෙතෙක් තරග වැදි තරග 3 න් එක් තර‍ගයක් පමණක් ජය ලබමින් එම තෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේය.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට තවත් තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර මීළඟ තරගය ඔක්තෝබර් 09 (හෙට) පාකිස්තානු බාලිකා පිලට එරෙහිව ෆයිසලාබාද්හිදී පැවැත්වෙනු ඇත.

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – 126/8 (පන්දුවාර 20) – අචෙනා ජන්නත් 50, ශිරීනා ඛාතුන් 16, සදියා අක්ටර් නොදැවී 16, නිශිතා අක්ටර් නිෂි 15, සදියා ඉස්ලාම් 11, චමුදි ප්‍රබෝධා 18/2, චමෝදි හේරත් 14/2, දනෝද්‍යා සෙව්මිණි 31/1, නෙත්මි උපේක්ෂා 18/1.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – 128/4 (පන්දුවාර 19.1) – සංජනා කාවින්දි නොදැවී 90, දනෝද්‍යා සෙව්මිණි 19, නෙත්මි උපේක්ෂා 12, තිති දාස් 21/2, ෆර්ජානා එස්මින් 15/1, අෆ්රින් මිම් 25/1.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee